අනුරාධපුර මහා විහාරය පෙරදිග ලෝකයේ පැවති ශ්‍රේෂ්ඨ අධ්‍යාපන ආයතනයක් වූ අතර එහි මහා සංඝරත්නය භාෂා ශාස්ත්‍ර පිළිබඳ ප්‍රවීණ විචක්ෂණ බුද්ධියෙන් සම්පූර්ණ වූ බැවින් ථේරවාදී බුද්ධාගම ලංකාවට හඳුන්වාදීමේ දී ප්‍රධාන සිද්ධීන් හෙළ බසින් වාර්තා කොට ඒවා විශේෂ ග්‍රන්ථ වශයෙන් මහා විහාර පුස්තකාලයේ තැන්පත් කොට පැවතුනි. හෙලුබෝවස, පසුකාලීනව පාලි භාෂාව ජාත්‍යන්තරව දියුණු වූ බැවින් පාලි භාෂාවට පරිවර්තනය කිරීමෙන් පාලි බෝධි වංශය නිර්මාණය විය.

බෝධිය සුරැකෙන අර්ථවත්බෝධි පූජාවක්

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 
දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක
ආචාර්ය
ඕමල්පේ සෝභිත හිමි

සෑම විහාරස්ථානයකම බෝධීන් වහන්සේ නමක් වැඩසිටිති. දායක දායිකාවෝ ද ඉමහත් භක්තියෙන් පුද පූජා පවත්වති. සුවඳ පැනින් නහවති. වටේට ප්‍රාකාර බඳීති. රන් වැට ද ඉදි කරති. කොඩි එල්ලති. මල් මාලා බඳීති. සිවුරු ආදියෙන් කඳ සරසති. එහෙත් ඒ පූජනීය වස්තුවේ පැවැත්මට හෝ ආරක්ෂාවට මේ කිසිවකින් වැඩක් හෝ ප්‍රයෝජනයක් නැත.
අප දන්නා හැම බෝධි වෘක්ෂයක් ම පාහේ විවිධාකාර ලෙඩ රෝග ආදි අනතුරුවලට ගොදුරුව පවතී. පණුරෝග, වෛරස් උවදුරු ආදියෙන් දිරායාම වැනි අනතුරු බහුලව දක්නට ලැබේ. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් වරින් වර අතු කඩාවැටීම සිදුවෙයි. කැඩීමෙන් හෝ ඉරී යාමෙන් ඇතිවන තුවාල නිසා වෛරස් උවදුරු වැඩිවේ. ඉන්පසු අතු ඔස්සේ කුණ බැස මහ කඳට ඔඩු දිවීමෙන් සුළු කාලයක දී සම්පූර්‍ණ කඳේ මුල සිට විශාල බෙන හටගනී. මේ තත්ත්වය පිටට නොපෙනේ. ඉන් පසුව සුළු සුළං හැමීමකදී පවා ශාඛාවල සිදුවන චලනයට මහ කඳ ඔරොත්තු නොදීමෙන් සියුම් පිපිරීම් හටගැනේ. අනතුරුව මහකඳ මැද සිටම අතු කඩා වැටීම සිදුවේ.

සාමාන්‍යයෙන් සිදුවන දෙය නම් බෝ වෘක්ෂයක මහ අත්තක් කඳ ද සම්බන්ධව කඩාවැටීමක දී සෑම දිසාවකටම අයත් අනික් අතු ද නොබෝ දිනකින්ම කඩා වැටීමයි. එයට හේතුව, අතු පතර දරා සිටින මහ කඳේ සමබරතාව නැති වීමයි. අවසාන හා අවාසනාවන්ත ප්‍රතිඵලය වන්නේ සමස්ත බොධි වෘක්ෂයම සම්පූර්‍ණයෙන් විනාශ වීමයි. අපේ විහාරාධිපති ස්වාමීන්වහන්සේලා උනන්දු වෙනවා නම් මේ තත්ත්වය වළක්වාගත හැකිය.අනවරත අවධානයෙන් බෝධිය ගැන සැළකිලිමත්වීම අත්‍යවශ්‍යයි. අවධානයක් නොවන විට ඉහත සඳහන් විනාශයන් අනිවාර්ය වන අතර එනිසා ම දේපළ හානි සහ ජීවිත හානි සිදුවීම නොවැළැක්විය හැකිය.
අපේ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් පවා මෙපමණ කාලයක් රැකී ඇත්තේ දැඩි අවධානය නිසාම යි. අනවරත සැළකිල්ල සාත්තු සප්පායම් හා අවංකව යොමු කෙරුණු ආදරබර සත්කාර නිසාම යි. ඒ සත්කාර යනු පුද පූජා ආදී අනේකවිධ චාරිත්‍ර වාරිත්‍ර නමැති මා මේ ලිපියේ මුලදී සඳහන් කළ ආකාරයේ “සත්කාර” නම් නොවන බව දැන් ඔබට මැනවින් වැටහෙනු ඇත.
බෝධීන් වහන්සේ නමක් නිරුපද්‍රිතව පවත්වා ගැනීමට නම් උද්භිද විද්‍යාඥයෙකුගේ උපදේශය අනිවාර්යයෙන් ම අවශ්‍ය වේ. ඒ අනුව වෘක්ෂය වයස් ප්‍රමාණය සලකා අධික ලෙස වැඩී ඇති අතු ක්‍රමානුකූල ලෙස ඉවත් කළ යුතුම ය. නියමිත බර ප්‍රමාණයක් අඩුකිරීම නිසා වෘක්ෂයේ දීර්ඝායුෂ රැකගත හැකිය. අතුවල සෑම කැපුමක් ම ලම්බකව සීරුවෙන් (පතුරු නොගැලවෙන සේ) කළ යුතුය. ඒ සෑම කැපුම් තුවාලයක ම කිරි වෑස්සීමට පැයක් පමණ ඉඩ සළසා දිලීර නාශක ආලේපය තැවරිය යුතු ය. එවිට ඒ තුවාල මගින් දිලීර ඇතුල්වීම වළකා දිරායාම නවතාලනු ඇත. දිරාගිය අතු ඉවත් කිරිම ද සැලකිලිමත්ව කළ යුතු ය. පෙර කැඩී ගිය හෝ කපන ලද තුවාල ඔස්සේ සිදු වී ඇති කුණ බැසීම් සුද්ධ පවිත්‍ර කළ යුතු ය. මහ කඳේ කුණ බැසීම් සුද්ධ කර කෘමිනාශක වැනි ආරක්ෂක දියරයක් ස්ප්‍රේ කළ යුතු ය. (අප කෘමිනාශක යොදන්නේ සතුන් වැඩීම හෝ ආක්‍රමණය වළක්වන්නට ය. එනිසා එයින් පවු සිදුවේ යැ යි බියවිය යුතු නැත.)
එසේම කඳේ වැඩී ඇති පාසි වර්‍ග ඇතුළු පැලෑටිද, අතු අග වැඩී ඇති පිළිල වර්ග ද අනිවාර්යයෙන්ම ඉවත් කළ යුතුය. එසේම බෝධිය මුල පහන් දැල්වීම ද ගසට අනතුරු ගෙන දෙයි. කිරි වර්‍ග ගිතෙල් වැනි දෑ ගසට දැමීම ද නොකළ යුතු දේ ය. මේ ආකාරයේ විද්‍යාත්මක ලෙස ප්‍රතිකාර ලබන බෝධි වෘක්ෂයක පැවැත්ම දීර්ඝ කාලීන වන බව අපගේ අත්දැකීම යි. නිදුක්ව, නිරෝගීව, සුවසේ වැඩීම හා දීර්ඝ ජීවිතය බෝධීන් වහන්සේ නමකට ද අත්‍යවශ්‍ය වන්නකි. එසේ වූ බෝධියකින් පරිසරයටත්, සතුන්ටත්, සැදැහැති අප සැමටත් සිදුවන සේවය අනල්ප ය. ඒ නිසා මේ සම්බන්ධයෙන් අපේ ගරු ස්වාමීන්වහන්සේලාගේත්, සැදැහැති දායක දායිකාවන්ගේත් කාරුණික අවධානය යොමු කරවීම ඉතා වැදගත් පින්කමක් මෙන් ම සාසනික අනුග්‍රහයක් ද වනු ඇත.
මෙසේ අර්ථවත් පරිදි අපේ සැදැහැසිත් සන්තර්පණය වන අයුරිනුත් බෝධීන් වහන්සේගේ යහ පැවැත්ම සුරැකෙන අයුරිනුත් බෝධි පූජා පැවැත්වීමෙන් මෙලොව පරලොව දෙකෙහිම අර්ථය සළසා ගන්නට අධිෂ්ඨාන කරගැනීම කාලීනව පවත්නා වැදගත් අවශ්‍යතාවක් බව මෙහිලා සාසන දයාවෙන් යුතුව හැමදෙනා වෙතම දන්වා සිටිනු කැමැත්තෙමි.