සදහම් ආලෝකය රැගෙන බු.ව. 236 අනුබුදු මිහිඳු හිමි සිරිලකට වැඩම වීම මෙරට ආගමික ශාසනික, සංස්‌කෘතික, සෞන්දර්යාත්මක හා කලාත්මක ප්‍රබෝධයක් ඇතිවූ බව ශාසන වංශකතාවල සනිටුහන් වී ඇත. ශ්‍රී ලංකාවට සදහම් දිවයින නැතහොත් ධර්මද්වීපය යන කීර්ති නාමයන් පටබැඳුණේ මහින්දාගමනයේ සාධනීය ප්‍රතිපලයක් වශයෙනි. අනුරාධපුර ඓතිහාසික මහමෙවුනා පුණ්‍ය භූමිය කේන්ද්‍ර කරගෙන ඇතිවූ අටමස්‌ථානය ඇතුළු පූජනීය ස්‌ථාන බිහිවන්නේ මෙම සදහම් ආලෝකයේ ප්‍රතිඵලයක් වශයෙනි. අනුරාධපුර පූජා භූමියට යන ඔබ අනිවාර්යයෙන්ම මෙම පූජනීය ස්‌ථානවල ඇති ඓතිහාසික වැදගත්කම ඒවායෙන් ජනනය වන පූජනීයත්වය දැනගෙන සිටීම වැදගත් වෙයි. අනුරාධපුර පුණ්‍ය භූමියේ දර්ශනය වන අටමස්‌ථාන හා පූජනීය ස්‌ථාන කවරේදැයි දැනගැනීම වැදගත් වන්නේ ඒ නිසයි. අනුරාධපුර අටමස්‌ථාන වන්නේ ජය ශ්‍රී මහා බෝධිය, ථූපාරාමය, රුවන්වැලි සෑය, ලෝවාමහාපාය, අභයගිරිය, ඡේතවනාරාමය, මිරිසවැටිය හා ලංකාරාමයයි.
ජයශ්‍රී මහා බෝධිය
දඹදිව බුද්ධගයාවේ සිට ජය ශ්‍රී මහා බෝධි ශාඛාව සිරිලකට වැඩම කරවන ලද්දේ සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ප්‍රධාන රාජකීය පිරිවර විසිනි. බෝධි ශාඛාව තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධත්වය ලැබූ ස්‌ථානයේ පිහිටි බෝධියේ අංකුරකි. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ රෝපණය කරන ලද්දේ පෙර තුන් බුදුවරුන් වහන්සේලාගේ බෝධි වෘක්‌ෂවල දක්‌ෂිණ ශාඛා පිහිටුවන ලද තැන්වලම බව සමන්ත ප්‍රාසාදිකා නම් විනය අටුවාවේ සටහන්ව ඇත. එදා ආර්යාවර්තයේ උරුවෙල් දනව්වේ පිහිටි තිලෝගුරු බුදුරජාණන්වහන්සේට බුද්ධත්වය ලබාගැනීමට සෙවණ දුන් මහා ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වර්තමාන බුද්ධගයාවේ පවා දක්‌නට නැත. එහෙයින් එම මව් බෝධියේ එකම සජීවී ශාඛාව අනරාධපුර මහමෙව්නාවේ පමණක් විද්‍යමාන වන බැවින් එය සමස්‌ත බොදුනු දනන්ගේ ගෞරවයට පාත්‍රවන්නේ ජීවමාන බුදුන් වහන්සේ මෙන් සැලකීමෙනි. ජයශ්‍රී මහා බෝධ සෙවනේ මල්, පැන්. පිරිකර පුදා වන්දනාමාන කරන ඔබගේ චින්තනය තුළ ජීවමාන බුදුන්වහන්සේට වන්දනාමාන කරන්නාක් බඳු බැතිබර හැඟීමක් ඇතිවීම නොවැළැක්‌විය හැකිය. හරිත වර්ණයෙන් බැබළෙන ශ්‍රී මහා බෝධිය පොසොන් පෝය දින සතර දිග්භාගයෙන් ඇදී එන සැදැහැවතුන් බොදු බැතිමතුන්ගෙන් මහමෙව්නා උයනම පිරී ඉතිරී යනු ඇත. ශ්‍රී මහා බෝධිය තුළ දැකිය හැකි රන්වැට, බෝධියේ නැගෙනහිර පාර්ශ්වයේ පිහිටි ප්‍රතිමා ගෘහය, අලුතින් ඉදිකරන ලද නිර්මාණ වෙයි. බෞද්ධයාගේ මුදුන් මල්කඩ වන ශ්‍රී මහා බෝධිය ජීවමාන බුදුන්වහන්සේ හා සමානව පුද පූජා ලබති. වරින් වර ද්‍රවිඩ ආක්‍රමණයන් වෙහෙර විහාර විනාශ කළත් ශ්‍රී මහා බෝධියට හානි නොවූයේ එහි සුවිශේෂී පූජනීයත්වය හා අදෘශ්‍යමාන බලවේගය නිසාය. 1948 ශ්‍රී මහා බෝධිය අවට කලාපය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත්විය.
සුපතිsට්‌ඨිත රට්‌ටනුරාධපුරේ - සම දිට්‌ඨික දකණ ශාක භවං
සුභ මේඝ වනම්බර මේඝ දීඝං - ජයබෝධි මහං පනවාමි වරං'
ථූපාරාමය
ලක්‌දිව ගෙඩනඟන ලද ප්‍රථම ඓතිහාසික ස්‌ථූපය වශයෙන් අනුරාධපුර ථූපාරාමය ඉතිහාසයට එක්‌වී තිබේ. මහා වංශයට අනුව ක්‍රි.පූ. 3 වැනි සියවසේදී මෙරට ප්‍රථම බෞද්ධ රජතුමා වූ දේවානම්පියතිස්‌ස රජතුමා විසින් මෙය ඉදිකළ බව සඳහන්ව ඇත. ධාන්‍යාගාර ආකෘතියේ හැඩයෙන් සාදා ඇති මෙම දර්ශනීය දාගැබ තුළ බුදුරදුන්ගේ දකුණු අකු ධාතුව හා පාත්‍රයක් පමණ සර්වඥ ධාතු තැන්පත් කර ඇති බව පුරාණ මුලාශ්‍රවල දැක්‌වේ. තථාගතයන් වහන්සේගේ තෙවැනි ලංකා ගමනේදී බුදු පා පහසින් පාරිශුද්ධියට පත් භූමියක පිහිටි මෙ දාගැබ පරිමාණයෙන් එතරම් විශාල නොවන අතර එහි පාදයේ විෂ්කම්භය අඩි 59 කි. උස අඩි 63 කි. වට ප්‍රමාණය අඩි 194 කි. අඩි 11 අඟල් 4 උස වේදිකාවක දාගැබ ගොඩනඟා ඇත. ශ්‍රී ලාංකික බෞද්ධයන්ගේ පූජනීයත්වයට බඳුන් වූ මෙම චෛත්‍යය වරින් වර ප්‍රතිසංස්‌කරණවලට භාජනය වීමෙන් අද සුන්දර දර්ශනීය කලා නිර්මාණයත් වශයෙන් මූර්තිමත් වනු ඇත. දාගැබ සමීපයේ බසවක්‌කුලම වැව පිහිටා තිබීමෙන් එයට මනස්‌කාන්ත පරිසරයක් ලැබී තිබේ. මෙහි ඉදිකොට ඇති සංඝාරාම සුවිශේෂී ලක්‌ෂණයකි. එය ථූපාරාමය නමින් ප්‍රසිද්ධ විය. ථූපය වටා ඇති අලංකාර ගල් කුළුණු මෙහි පැරැණි වටදාගෙය නෂ්ඨාවශේෂ බව පුරාවිද්‍යාඥය්ගේ අදහසයි. වසභ රජ මෙහි වටදාගෙය නිර්මාණය කළ අතර ෂෂ දප්පුල, මානවම්ම, ෂ පරාක්‍රමබාහු රජදරුවන් මෙහි ප්‍රතිසංස්‌කරණ කටයුතු කරවා ඇත. ගල්බඳුණ, සඳකඩපහණ, මුරගල්වලින් ස්‌තූපය අලංකාරවී ඇත.
රුවන්වැලි මහා සෑය
බෞද්ධ ලෝකයේ ඉමහත් ගෞරවයට පාත්‍රවී තිබෙන මහාථූපය හෙවත් රුවන්වැලි මහාසෑය සමකාලීන ලෝකයේ තිබූ විශාලම චෛත්‍යය යෑයි කියනු ලැබේ. මෙම දාගැබ ජයශ්‍රී මහා බෝධියට නුදුරින් දර්ශනීය පරිසරයක පිහිටා ඇත. ස්‌වර්ණමාලී දිව්‍යාංගනාව විසූ ස්‌ථානයේ ඉදිකරන ලද නිසා එයට 'රුවන්වැලි' යන නාමය පටබැඳී ඇති බව ජනප්‍රවාදවල කියෑවේ. මිල කළ නොහැකි රන්, රිදී. මුතු මැණික් දඹදිව රාමගාම ස්‌තූපයේ නිදන්කොට තිබූ සර්වඥ ධාතුන් වහන්සේලා රුවන්වැලි මහා සෑයේ නිදන්කොට ඇතැයි සඳහන් වේ. වාස්‌තු විද්‍යාත්මකව බුබ්බුලාකාර හැඩයකින් යුතව මෙම දාගැබ බු.ව. 383දී දුටුගැමුණු මහ රජතුමා විසින් නිර්මාණය කරන ලද්දකි. දාගැබේ වට ප්‍රමාණය අඩි 950ක් වන අතර උස අඩි 338කි. රන් ආලේපිත සහ චූඩා මාණික්‍යයේ උස අඩි 25කි. සඳ පායා ඇති නිසල රාත්‍රියක මහා පරිමාණයේ සෑ වටා ඇති සලපතල මළුව වටා පැදකුණු කරන මොහොතක සිත නිවී ශාන්ත හැඟීමක් ගෙනදීම භාග්‍යයකි. චෛත්‍ය වටා අභිනවයෙන් සාදන ලද ඇත්පවුර දර්ශනීය ලක්‌ෂණයක් ගෙන දෙයි. සිරිලක එතෙක් පැවැති විශාල ස්‌තූපවීම, මහා විහාර භූමියේ පිහිටීම, හෙළ වීරයකු වූ දුටුගැමුණු රජ විසින් ගොඩනැංවීම නිසා මෙහි සංස්‌කෘතික වැදගත්කම වැඩිවිය. දැනට වර්ෂ 2172 පැරැණි මෙය රුවන්වැලි චෛත්‍ය වර්ධන සමිතිය මගින් ප්‍රතිසංස්‌කරණය කොට වාහල්කඩ සාදවා දර්ශනීයත්වයට පරිවර්තනය කර ඇත.
අභයගිරිය
මහාථූප වංශ කථාවේ කියවෙන බෞද්ධ ජනතාවගේ ගෞරවයට ප්‍රාසාදයට පාත්‍රවී ඇති ඓතිහාසික සිද්ධස්‌ථානයක් ලෙස අභයගිරිය සැලකේ. මහා විහාර සීමාවෙන් බැහැරව පිහිටි මෙම දාගැබ උසින් අඩි 245කි. වට ප්‍රමාණය අඩි 365කි. ක්‍රි.ව. 112-134 රජ කළ වට්‌ටගාමිණී අභය (වලගම්බා) රජතුමා විසින් ගිරි නිගන්ඨයාගේ අසපුව විනාශකොට එම සුන්බුන් මත අභයගිරි ථූපය ඉදිකළ බව මහාවංශයේ සඳහන් වේ. කිත්සිරිමෙවන් රජ දවස අභයගිරි ප්‍රමාණයෙන් විශාල කොට එහි බෝධි වෘක්‌ෂයක්‌ද රෝපණය කර ඇත. මහා පරාක්‍රමබාහු රජතුමාද මෙම පූජනීය සථානයේ අනාගත අභිවෘද්ධියට විසල් මෙහෙවරක් සිදුකොට තිබේ. ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ හා පාත්‍රා ධාතූන් වහන්සේ කලින්ම අයත්ව තිබුණේ අභයගිරි විහාරයට බව පැවැසේ. මහා පැරකුම් රජ දවස මෙම දාගැබ විශාලත්වයට පත්කරන ලද බව සඳහන් වේ. දාගැබට ප්‍රවේශවන ස්‌ථානයේ දැකිය හැකි බහිරව රූපය අති විශිෂ්ට කලා නිර්මාණයක් ලෙස නම්කොට තිබේ. රත්න ප්‍රාසාදය ද මේ සමීපයේ පිහිටා ඇත. මෙම දාගැබෙහි සර්වඥ ධාතු තැන්පත් කළ රන් ගව රූපයක් සහිත රන්පත් ඉරුවල ලියූ ත්‍රිපිටකය නිදන් කර තිබේ. දැනට වර්ෂ 2100 ක් පැරැණි මෙම දාගැබ අනුරාධපුරයේ දර්ශනය වන තරමක කඳු ගැටයක් බඳු ජරාවාසවූ වෙහෙරකි. 5වැනි සියවසේ ශ්‍රී ලංකාවට පැමිණි පාහියන්ගේ වාර්තාවේ අභයගිරියේ භික්‌ෂුන් 5000ක් සිටි බවද, වාර්ෂිකව දළදා පූජාවක් පැවැත්වූ බව සඳහන් වීමෙන් බෞද්ධ මධ්‍යස්‌ථානයක් වශයෙනුත් කලා කේන්ද්‍රස්‌ථානයක් වශයෙනුත් අභයගිරියේ වැදගත්කම සිතාගත හැකිය.
මිරිසවැටිය
දුටුගැමුණු රජතුමා ප්‍රථමයෙන් ඉදිකරන ලද චෛත්‍යය මිරිසවැටිය බව මහාවංශයේ සඳහන් වේ. ක්‍රි.ව. 161-137 කාලය තුළ මහා සංඝරත්නය සිහි නොකොට අනුභව කළ මිරිස් ව්‍යංජනයක් සිහිවීම පිණිස කරන ලද දාගැබක්‌වූ හෙයින් එය මිරිසවැටිය නමින් ව්‍යවහාර වූ බව කියෑවේ. මෙය අමස්‌ථානවලින් එකකි. බුදුරදුන්ගේ ශ්‍රී පාද ස්‌පර්ශයෙන් අති පාරිශුද්ධ වූ ස්‌ථානයක ගොඩනැඟූ මිරිසවැටි සෑයෙහි සර්වඥධාතූන් සහ රජතුමාගේ රාජකුන්තායුධය නිදන්කොට ඇති බව ඓතිහාසික මූලාශ්‍රවල සඳහන් වේ. 19 කෝටියක් ධනය වියදම් කොට ගොඩනැංවූ මෙම ථූපය අඩි 200කි. වටප්‍රමාණය අඩි 560කි. පාදයේ විෂ්කම්භය අඩි 168කි. චෛත්‍යය ඉදිකොට පූජා කිරීමේ උත්සවයේදී භික්‌ෂුන් වහන්සේලා 1,90,000ක් වැඩමවීමෙන් මෙය අති පූජනීය පිංබිමක් ලෙස සැලකේ. මෙහි දර්ශනීය විහාරයන්ද ඉදිකොට ඇත. වෝහාරතිස්‌ස රජ දවස මිරිසවැටි සෑයෙහි චිත්‍රකර්ම හා ප්‍රාකාරයද කරවූ බව කියවේ. පරසතුරු උවදුරු නිසා ක්‍රි.ව. 1883 දී මෙය ගරා වැටීමකට පත්විය. භූමි පරිශ්‍රයේ වල්බිහිවිය. මෑතකදී ශ්‍රී ලංකාවට පැමිණි සියම් ජාතික කුමාරයකුගේ පවුම් 1200ක විශේෂ ධන පරිත්‍යාගයෙන් යළිත් ප්‍රතිසංස්‌කරණය කර ඇත. මෙම ස්‌ථානය පවත්වාගෙන යැම සඳහා අක්‌කර 50ක භූමි භාගයක් පූජාකර ඇත. දැනට වර්ෂ 2172ක් පැරැණි මිරිසවැටි චෛත්‍යරාජයා චෛත්‍ය සංවර්ධන කමිටුව ශ්‍රමදාන පදනමින් සංවර්ධනය කිරීම භාග්‍යයකි. වර්තමානයේ අප වන්දනාමාන කරන්නේ ප්‍රතිසංස්‌කරණය කරන ලද මිරිසවැටි චෛත්‍ය බව මෙහිලා සඳහන් කළ යුතුව ඇත.
ලෝවාමහාපාය
ජයශ්‍රී මහා බෝධිය වන්දනාමාන කර ස්‌වර්ණමාලී දාගැබ දෙසට ගමන් කරන ප්‍රවේශ මාර්ගයේ අතර මගදී දකුණු පස ලෝවාමහාපාය දිස්‌වනු ඇත. මිහිඳු හිමියන් දේවානම්පියතිස්‌ස රජතුමා සමඟ ප්‍රකාශ කළ අන්දමට එම ස්‌ථානයෙහි ප්‍රාසාදයක් ඉදිකරවීමේ අවස්‌ථාව දුටුගැමුණු රජතුමාට ලැබුණේය. ලෝවාමහාපාය ඉදිකොට ඇත්තේ විශාල උස් ගල් කණු මතය. සිංහල කලාවේ උච්චස්‌ථානයක් හිමිකර ගැනීමට මෙම බෞද්ධ නිර්මාණ ශිල්පය සමත්විය. භික්‌ෂුන් වහන්සේලාගේ විහරණය සඳහා ස්‌ථිර ගොඩනැඟිල්ලක් ඉදිකරවීමට දුටුගැමුණු රජ ඉදිරිපත්වූ පසු එහි සැලැස්‌ම එක් රහතන් වහන්සේ නමක් ඉදිරිපත් කළ බවත් එය දෙව් විමනක ආකෘතියක් බවත් වංශකතාවල සඳහන්වේ. දුටුගැමුණු රජතුමා මෙම ප්‍රාසාදය නව මහලක් කොට ඉදිකර එහි ස්‌වර්ණාලේප කර ලෝහ උළු සෙවිලි කළ බවත් එනිසාම ලෝවාමහා ප්‍රාසාදය යන නාමය යොදා ඇති බවද පැවැසේ. විශාල සංඛ්‍යාවක් ගල් කුලුණුq යෙදීමෙන් චිරාත් කාලයක් පවතින ලෙස ඉතා ශක්‌තිමත්ව හා අලංකාර ලෙස නිර්මාණය කළ බවද සඳහන්ව ඇත. මෙය ගින්නෙන් විනාශවීමෙන් පසුව හෙළ රජදරුවන් කීපදෙනකු මෙය යළි සත්මහලක් කොට ඉදිකළ බවද පුරාණ මූලාශ්‍රවල සඳහන් වේ. මෙම සුවිසල් මහා ප්‍රාසාදය මහා විහාරීය භික්‌ෂුන් වහන්සේලාගේ පොහොය ගෙය වශයෙනුත් මහ විහාරයේ භාණ්‌ඩාගාරය වශයෙනුත් පරිශීලනය වූ බව සඳහන්ය.
ඡේතවනාරාමය
අනුරාධපුර අටමස්‌ථාන අතර විශාලම චෛත්‍ය ලෙස සැලකෙන ඡේතවනාරාමය ක්‍රි.ව. 247-301 රජකළ මහසෙන් රජතුමා විසින් ඉදිකළ බව සඳහන් වේ. ජෝතිවන නම් උද්‍යානය තුළ කරවන ලද මෙය කිත්සිරි මෙවන් රජ විසින් අංගසම්පූර්ණ කරන ලදී. සිංහල සාහිත්‍ය වංශකථා හා සෙල්ලිපිවල දෙනානකය, දෙනාවෙහෙර යනුවෙන් මෙම ථූපය ව්‍යවහාරයට පත්වී ඇත. පාදයේ වර්තමාන විෂ්කම්භය අඩි 367 කි. උස අඩි 232කි. වට ප්‍රමාණය අඩි 11000කි. මෙම දැවැන්ත ස්‌තූපය දෙවැනි වන්නේ මිසරයේ පිරමීඩයකට පමණි. ගෞතම බුදුරජාණන් වහන්සේගේ පටිධාතුවෙන් කොටසක්‌ද, සර්වඥ ධාතුද මෙහි තැන්පත්කොට ඇත. දාගැබ උඩ කැලෑ රොදකි. ගඩොල් බදාමයෙන් යුක්‌තය. උඩ කොත් කොටස කැඩී ඇත. ථූපය අක්‌කර 3කින් සමන්විත වන අතර මළුව අක්‌කර 8කින් යුක්‌තය. මෙහි පෞරාණිකත්වය රැකගැනීම සඳහා ඒ තත්ත්වයෙන් පවතින බවදැක්‌විය යුතුය. ඡේතවන විහාරය ගත්විට පිරිවෙන් ප්‍රාකාරය, ප්‍රතිමාඝර ආදියෙන් සමන්විතව ඇත. දැනට වර්ෂ 1677ක් පැරැණි මෙම දාගැබ අනුරාධපුර පූජා නගරයෙහි උසින් දිස්‌වන ලෝකයේ උසම ස්‌තූපය ලෙස ප්‍රසිද්ධ පෞරාණික චෛත්‍යයකි.
ලංකාරාමය
අටමස්‌ථාන අතරින් මහමෙව්නා උද්‍යානයට තරමක් දුරින් පිහිටා ඇති ලංකාරාමය බු.ව. 455දී රාජ්‍යශ්‍රීයට පත් වලගම්බා රජතුමා කලක් සැඟවී සිටි ස්‌ථානයක් වූ 'ගල්හෙබකඩ' නම් ස්‌ථානයේ ලංකාරාම සෑය කළ බව මහාවංශයේ සඳහන් වේ. මෙම පූජනීය ස්‌ථානය පුරාණයේ 'මණි සෝමාරාමය' නමින් හැඳින්වූ බව වංශකථාවල දැක්‌වේ. එමෙන්ම මෙය අභයගිරියට සම්බන්ධව සිටි භික්‌ෂුණීන්ගේ ආරාමය වශයෙන්ද පැවැති බවට වාර්තා ඇත. අඩි 38ක විෂ්කම්භයකින් නිර්මිතව ඇති මෙම ථූපයේ වලගම්බා රජුගේ බිසව වන සෝමා දේවියට අයත් අගනා මැණික් මෙහි නිදන් කළ බව කියෑවෙන නිසාත් එම දාගැබ මනිසෝමාරාමය හෙවත් 'මණිථූපාරාමය' නමින්ද භාවිත වූ බව පුරාණ මූලාශ්‍රවල දැක්‌වේ. ලංකාරාමය වටා අලංකාර වටදාගෙයක් පැවැති බවට එහි විද්‍යමාන ගල්කණු සාක්‌ෂි දරයි. මෙය ඇතුළු මළුව හා පිට මළුව යනුවෙන් මළු දෙකකින් සමන්විතය. වර්ෂ 2010ක් පැරැණි මෙම චෛත්‍යය වත්මන් ප්‍රතිසංස්‌කරණ නිසා එහි පෞරාණික ස්‌වරූපය විනාශ වී ගොසිනි.
ටී. කුලසිරි ප්‍රනාන්දු,
ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්, කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය