අනුරාධපුර අටමස්ථානාධිපති
ආචාර්ය
පල්ලේගම සිරිනිවාස නා හිමි
අදින් සියවස් විසි තුනකට පෙර අතීතයේ දී මහින්දා ගමනය නිසා අප ලද බුදුසමය නිසා මෙරට ජනතාව තුළ සිදුවී ඇති චින්තන විප්ලවය අසමසම එකක් බව පෙනේ. එයින් ලද සමානාත්මතාව සංඝමිත්තා මහ තෙරණින් වහන්සේගේ ලංකා ගමනයත් සමඟ මෙරට කාන්තා පරපුර කෙරේ ප්‍රායෝගිකවම ඇති කළ බලපෑම ඉතා විශිෂ්ට හා ප්‍රායෝගික එකකි. එය එතෙක් මෙරට බ්‍රාහ්මණ දහමින් බැඳී තිබූ බැමි හා පවුරු බිඳ හරිමින්, මෙරට කාන්තාවට සැබෑ විමුක්තිය ලබා දීමක් මෙන්ම ඇය තුළ වු නුවණ කුසලතාව මෙන්ම තත්වැසි නුවණද මනා ලෙස සමාජගත කරවන්නක් විය.
උඳුවප් පොහොය ශී‍්‍ර ලාංකිකයන්ට ඉතා වැදගත් වන්නේ, දඹදිව,බුද්ධගයාවේ සිට ජය ශී‍්‍ර මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව මෙරටට වැඩමවා, ඓතිහාසික අනුරාධපුර මහමෙවුනාවේ පිහිටි මහාවිහාරයේ රෝපණය කරවීම හේතුවෙනි. ජය ශී‍්‍ර මහාබෝධින් වහන්සේ ශ්‍රී ලංකා ධරණි තලයේ ගැඹූරට මුල් ඇදගත්තා සේම, සිංහල බෞද්ධ සංස්කෘතිය ද මේ පොළෝ තලයේ ඉතා ගැඹූරට මුල් ඇද මනා ලෙස පිහිටමින් මහා වනස්පතියක් සේ දළුලා වැඩුණූ බව විද්වතුන්ගේ අදහස වේ.ලෝකයේ ප්‍රෞඪ සංස්කෘතියක් ලෙස සම්භාවනාවට පාත්‍රවන සිංහල බෞද්ධ සංස්කෘතියේ භෞතික සහ ආධ්‍යාත්මික සියලු සම්පත් එහි උරුමයන් වේ. එකී සංස්කෘතිය තුළ ශී‍්‍ර ලාංකික කාන්තාව ලද විජයග්‍රහණ මෙන්ම එමගින් සමස්ත ශී‍්‍ර ලාංකික ජන සමාජයම ලද විශිෂ්ට දයාද රැසකි.
ජය ශ්‍රී මහා බෝධින්වහන්සේ ශී‍්‍ර ලංකාද්වීපයට වැඩම කරවනු ලබන්නේ සංඝමිත්තා මහ රහත් තෙරණිය විසිනි. මහරහත් තෙරණිය සමඟ උත්තරා, හේමා, පසදමාලා, අග්ගිමිත්තා , දාසිකා, චෙග්ගු, පබ්බතා, මත්තා, ධම්මදියා, හෙමාසා, උන්නලා, අංජලී ,මහාදේවි, පදුමා, සුබා ඇතුළු භික්ෂුණීන් වහන්සේලාද වැඩිය බව දීපවංශයේ සඳහන් වේ. සංඝමිත්තාවෝ අශෝක මහා අධිරාජයාගේ දියණිය ද වූවාය. අනුරාධපුර රාජ මාළිගාවේ විසු අනුලා බිසව ඇතුළු පන්සීයක් පිරිවරා කාන්තාවන්, තිසරණ සරණ ගිය උපාසිකාවන් වන තමන්ව ද පැවිදි කරවන මෙන් මිහිඳු මහ රහතන් වහන්සේ වෙතින් ඉල්ලා සිටීම, සංඝමිත්තා මහ රහත් තෙරණියගේ ලංකා ගමනයට හේතු වූ ප්‍රධාන කාරණය වේ. එය ඉටුකරනු පිණිස මිහිඳු මහ රහතන් වහන්සේගේ උපදෙස් පරිදි , දේවානම්පියතිස්ස රජතුමා ධර්මාශෝක අධිරාජයාගෙන් කළ ඉල්ලීමෙහි ප්‍රතිඵලයක් ලෙස සංඝමිත්තා මහ රහත් තෙරණිය මහා බෝධියේ දක්ෂිණ ශාඛාව ද රැගෙන ශී‍්‍ර ලංකාද්වීපයට වැඩම කළහ.
ඓතිහාසික මහින්දාගමනය සිදුවන තෙක්ම මෙරට පැවතියේ ප්‍රාග් බෞද්ධ යුගයේ භාරතයේ පැවති ආගම්, ඇදහිලි සහ දර්ශනයන්ම බවට සැකයක් නැත. ඒවා ප්‍රධාන වශයෙන්ම විජය කුමාරයා ඇතුළු පිරිවර සමඟ මෙරටට පැමිණි ඒවා වේ. බ්‍රාහ්මණ, ජෛන වැනි ආගම්, වෘක්ෂ වන්දනය, යක්ෂයන් පිදීම, ආදි විශ්වාස ඒ අතර විය. බ්‍රාහ්මණාගම ඒ අතර වඩාත් ප්‍රබල ආගම මෙන්ම බ්‍රාහ්මණයෝ සමාජයේ බලවත් පක්ෂය විය. විජය කුමාරයාගේ පුරෝහිතයා වූ උපතිස්ස පණ්ඩුකාභය කුමාරයාගේ ගුරුවු පණ්ඩුල, අනුරාධපුර නගරය සැලසුම් කළ ජෝතිය, වළගම්බා රජතුමාට එරෙහිව කැරලි ගැසූ තිස්ස , වංශ කතාවල හමුවෙනා එවැනි ප්‍රබල බ‍්‍රාහ්මණ චරිත කිහිපයකි.
බ්‍රාහ්මණ. සමාජය, පුරුෂාධිපත්‍ය සහිත සමාජයක් ලෙස විද්වත්හු පෙන්වා දෙති. එම සමාජය තුළ පිරිමි දරුවෙකුගේ උපත මංගල්‍යයක් වෙන නමුත් ගැහැනු දරුවෙකුගේ උපත කනගාටුවට කාරණයකි. ස්ත්‍රිය පිරිමියාගේ අණසකට යටත්ව සියලු බැලමෙහෙවර කරමින් දාසියක මෙන් සිටිය යුතු විය. ඇයට පිරිමියා හා සමානව තීරණ ගැනීමේ සහ ක්‍රියා කිරීමේ අවකාශ නැති විය. ශිල්ප ශාස්ත්‍ර හැදෑරීමට හෝ සමාජයේ වෙනත් අයිතිවාසිකම් දැරීමේ හෝ හැකියාව ඇයට අහිමි විය. භාරතීය සම්භවයකින් ආරම්භ වුණූ ප්‍රාග් බෞද්ධාගමික ශ්‍රී ලාංකා සමාජයේද මේ තත්වයේ වෙනසක් බලාපොරොත්තු විය නොහැකිය.
එවන් පසුබිමක බුදු දහම රැගෙන පැමිණි මිහිඳු නම් වූ මහා පුරුෂයා හා සම තත්ත්වයකින්, සංඝමිත්තා නම් වූ ස්ත්‍රිය මෙරටට පැමිණීම අසාමාන්‍ය අත්දැකීමක් විය. සමස්ත සමාජ චින්තනයම වෙනසකට භාජනය කරවන්නක් විය. එය අලුතෙන් ලද බුදු දහමත්, එය හේතුකොට ගෙන නව ආරකට හැඩගැසෙමින් පැවතුණූ සමාජයක් තුළ ස්ත්‍රියද පුරුෂයා හා සම තත්වයේ ලා ප්‍රායෝගිකවම පිළිගැනීමකි. මෙය එතෙක් ශ්‍රී ලාංකික සමාජය තුළ ස්ත්‍රිය පිළිබඳ තිබු තහංචි හා බැමි පුපුරුවා හැරීමකි.
සංඝමිත්තා මහ රහත් තෙරණින් වහන්සේගේ මඟ පෙන්වීම අනුව අනුලා බිසව ප්‍රධාන පන්සීයක් ස්ත්‍රීහු පැවිදි දිවියට ඇතුළත්ව ඉතා කෙටි කලකින්ම බවුන් වඩා අරහත් භාවයට පිළිපන්හ. එම තෙරණින් වහන්සේලා අනුව යමින් පැවිදි දිවියට පත් ශී‍්‍ර ලාංකික කාන්තාවන් සංඛ්‍යාව අතිවිශාලය. මහාවංශයට අනුව දුටුගැමුනු රජතුමා, මිරිසවැටි දාගැබ විවෘත කළ උත්සවයට භික්ෂුණීන් වහන්සේලා අනුදහසක් සහභාගි වී තිබේ. රුවන්වැලි මහා දාගැබේ ඉදිකිරීම් ආරම්භ කළ දිනයේ පියදස්සී තෙරුන් වහන්සේ කළ ධර්ම දේශනාව අසා රහත් භාවයට පත් උතුමන් අතරේ භික්ෂුණීන් වහන්සේලා දාහතර දහසක් සිටියහ. මහිලා සමන්තා, ගිරිකාලි, දාසි, කාලි යන භික්ෂුණීන් වහන්සේලා පස් නම ප්‍රධාන භික්ෂුණින් වහන්සේලා විසි දහසක් රුහුණේ සිට අනුරාධපුරයට පැමිණ විනය ඉගැන්වූ බව, දීපවංශයේ සඳහන් වේ. මේ සංඛ්‍යා අතිශයෝක්තියෙන් ගත්තද එකල ශ්‍රී ලංකාවේ භික්ෂුණී ශාසනය කවර උසස් තත්ත්වයකින් පැවතුණේ ද යන්න වටහා ගැනීමට එය බාධාවක් නොවේ.
සංඝමිත්තා මහ රහත් තෙරණින් වහන්සේලා ප්‍රධාන තෙරණින් වහන්සේ ලා සමඟ මෙරටට වැඩම කළ භික්ෂුණීන් වහන්සේලා සහ මෙරට දී පැවිදි දිවියට ඇතුළත් වූ භික්ෂුණීන් වහන්සේලා ථූපාරාමය කේන්ද්‍ර කරගත් “හත්ථාළ්හක උපාසිකාරාමයේ “ වැඩ විසූහ. ඒ හා සමඟම ශී‍්‍ර ලංකාවේ මෙහෙණවර සම්ප්‍රදාය ආරම්භ විය. මිරිසවැටි සහ ලංකාරාමය එකල මේ ආකාරයේ මෙහෙණවර වූ බව විද්වතුන් පෙන්වා දී තිබේ.
භික්ෂුණීන් වහන්සේලා වෙතින් ඉටුකෙරී ඇති සමාජ සේවාව ඉතා වැදගත් වේ. උන්වහන්සේලා ලත් සමාජ පිළිගැනීමද ඉතා ඉහළ වේ. විශේෂයෙන්ම විනය ඉගැන්වීමේදි ශ්‍රී ලාංකික භික්ෂුණිය ඉටු කර තිබෙන මෙහෙවර ප්‍රශංසනීයය. එය මෙරට බුද්ධ ශාසනයේ පැවැත්මට සිදුකර තිබෙන අමිල සේවාවකි. ක්‍රි.පූ. පළමුවැනි සියවස අග භාගයේදී, වළගම්බා රජ දවස, අනුරාධපුරයේ ඇති වු අතිශය භයානක ‘බැමිණිතියා සාය’ මෙරට ජනතාවගේ මෙන්ම, ශාසනයේද පැවැත්මට එල්ල කළ ප්‍රබල තර්ජනය ඓතිහාසික එකකි. දීපවංශයට අනුව මේ අතිශය අභාග්‍යසම්පන්න අවදියෙන් පසු ශ්‍රී ලංකාවේ මුලින්ම විනය උගන්වා ඇත්තේ භික්ෂුණීන් වහන්සේලා විසිනි. මහාසෙනා, දත්තා, සීවලා, නාගා, නාගමිත්තා, ධම්මගුත්තා, දාසියා, සමුද්දා, සපත්තා, ඡන්තා, උපාලි, රේවතා, මාලා, ඛේමා සහ තිස්ස යන භික්ෂුණීන් වහන්සේලා එය සිදු කළහ. ඉන්පසුව සීවලා සහ මහරූහා යන භික්ෂුණීන් වහන්සේලා දෙනම, දඹදිව සිට ශ්‍රී ලංකාවට පැමිණ විනය උගන්වා ඇත්තේ වළගම්බා රජතුමාගේ ආරාධනාවෙනි.
එකල භික්ෂුණීන් වහන්සේලා කොතරම් ගෞරවනීය තත්ත්වයකින් පිදුම් ලැබුවේද යන්න, රාජකීය කාන්තාවන් පැවිදි බිමට ඇතුළත්වීමෙන් වටහා ගත හැකිය. පළමුවෙන්ම පැවිදි වූවෝ අනුලා, බිසව ඇතුළු රාජකීය කාන්තාවෝ වෙති. රුහුණෙන් පැමිණ අනුරාධපරයේ දී විනය ඉගැන්වූ මහිලා සහ සමන්තා, දුටුගැමුණු මහ රජතුමාගේ සහෝදරියෝ වූහ. ගිරිකාලි භික්ෂුණිය කාවන්තිස්ස රජතුමාගේ පුරෝහිතයාගේ දියණිය වූවාය. බැමිණිතියා සායෙන් පසුව වළගම්බා රජතුමාගේ ආරාධනාවෙන් මෙරටට පැමිණ විනය ඉගැන්වූ භික්ෂුණීන් වහන්සේලාගෙන් උපසම්පදාව ලද සමුද්දනාවා, දේවී, සීවලී, නාගමිත්තා , මහිලා යන භික්ෂුණින් වහන්සේලා අතරින් සමුද්දනාවා, දේවි සහ සීවලී යන භික්ෂුණින් වහන්සේලා රජතුමාගේ දියණියන් වු බව දීපවංශයේ සඳහන් වේ. තුන්වැනි ජෙට්ඨතිස්ස රජතුමා මිය ගිය පසු එතුමාගේ බිසව පැවිදි වූවාය. තම ස්වාමියා, විසින් අත්හරිනු ලැබූ සයවැනි අග්ගබෝධි රජතුමාගේ දියණිය, රජතුමා විසින් සසුන් ගතකරවන ලදී. ශ්‍රී ලාංකික කාන්තාවෝ භික්ෂුණී ශාසනය හේතුකොටගෙන අපමණ සැනසීමක් ලද ආකාරය මෙයින් පෙනේ.
ශ්‍රී ලාංකික භික්ෂුණීන් වහන්සේලා ජාත්‍යන්තරව බුදු දහම ප්‍රචාරය කිරීමේදී ඉටුකර ඇති සේවාව ඉතා අගනේය. චීනයෙන් අපට ඒ සඳහා වැදගත් තොරතුරු හමුවේ. ක්‍රි.ව. 429 දී චීනයේ භික්ෂුණී ශාසනය පිහිටුවීම පිණිස ශී‍්‍ර ලාංකික භික්ෂුණීන් වහන්සේලා පිරිසක් එරටට වැඩමකර තිබේ. ක්‍රි.ව. 433 දී දේවසරා නම් භික්ෂුණීන් වහන්සේ නමකගේ නායකත්වයෙන් යුක්ත ශී‍්‍ර ලාංකික භික්ෂුණීන් වහන්සේලා පිරිසක් යළි චීනයට වැඩම කර ඇත්තේ එරට භික්ෂුණී උපසම්පදාව ඇති කරනු පිණිසය.
භික්ෂුණීන් වහන්සේලා ත්‍රිපිටක ධර්මය හැදෑරීමේදී විශිෂ්ට කුසලතා පෑ අතර. ගිහි කාන්තාවෝද ශිල්ප ශාස්ත්‍ර හැදෑරීම අතින් සමාජයේ ඉදිරියටම පැමිණියහ. ශාස්ත්‍රෝද්ග්‍රහණය පිරිමින්ට පමණක් සීමා වී තිබුණු සමාජයක මේ තත්ත්වය විප්ලවීය වෙනසක් විය. ඒ වග සනාථ කරන තොරතුරු රැසක් වංශකතාවල හමුවේ. පළමුවැනි උපතිස්ස රජතුමාගේ බිසව, මැනවින් අභිධර්මය හදාළ කාන්තාවක් වීම ඊට එක් නිදසුනකි. පළමුවැනි අග්බෝ රජතුමාගේ රාජ සභාවේ සිටි දොළොස් මහාකවීන් අතුරෙන් ‘දළබිසෝ’ කිවිදියක වූ බව මහාචාර්ය එස්. හෙට්ටිආරච්චිගේ අදහස වී තිබේ. සීගිරි කුරුටු ගී අතර, කාන්තාවන් විසින් ලියන ලද ගී හමුවන බවද සැලකිය යුතුය.අනුලා, ලීලා ආදි රාජණියන් පිළිබඳ තොරතුරු වංශ කතාවල දැකගත හැකිය. ස්ත්‍රිත්වය මනාව රැකගනිමින්, රාජ්‍ය පාලනයේ සහාය වූ කාන්තාවන් රැසක් ඉතිහාසයේ අපට හමුවේ. විහාරමහාදේවිය, කීර්ති ශී‍්‍ර මේඝවර්ණ රජතුමාගේ මව,පළමුවැනි උපතිස්ස රජතුමාගේ බිසව එයින් කීප දෙනෙකු පමණි. වළගම්බා රජතුමා පසුපස එළවා පැමිණි සතුරන්ගෙන් තම ස්වාමියා වු රජතුමා බේරා ගැනීමටත් එමගින් තම මාතෘ භූමිය රැකගැනීමත්, පිණිස රථයෙන් බැස ස්වකැමැත්තෙන්ම සතුරන්ට බිලිවූ සෝමාදේවිය සිංහල කාන්තා පරපුරේ විශිෂ්ට මාතාවකි.
මෙම කරුණූ විමර්ශනය කරන විට,අදින් සියවස් විසි තුනකට පෙර අතීතයේ දී මහින්දා ගමනය නිසා අප ලද බුදුසමය නිසා මෙරට ජනතාව තුළ සිදුවී ඇති චින්තන විප්ලවය අසමසම එකක් බව පෙනේ. එයින් ලද සමානාත්මතාව සංඝමිත්තා මහ තෙරණින් වහන්සේගේ ලංකා ගමනයත් සමඟ මෙරට කාන්තා පරපුර කෙරේ ප්‍රායෝගිකවම ඇති කළ බලපෑම ඉතා විශිෂ්ට හා ප්‍රායෝගික එකකි. එය එතෙක් මෙරට බ්‍රාහ්මණ දහමින් බැඳී තිබූ බැමි හා පවුරු බිඳ හරිමින්, මෙරට කාන්තාවට සැබෑ විමුක්තිය ලබා දීමක් මෙන්ම ඇය තුළ වු නුවණ කුසලතාව මෙන්ම තත්වැසි නුවණද මනා ලෙස සමාජගත කරවන්නක් විය.
සිංහල බෞද්ධයෝ කාන්තාවට සමාජයේ සමානාත්මතාව ලබාදී ඇත්තේ දුමින්දාගමනය සිදුවීමත් සමඟම බව මෙයින් අපට පෙනේ. පොදුවේ සලකන විට කාන්තාවන් ගැන හොඳ ආකල්පයක් සමාජයේ පැවති අතර, ඔවුන් දේශපාලන සාමාජික ආර්ථික හා ආගමික වශයෙන් නිදහස භුක්ති විඳිමින් සමාජයේ වැදගත් තැනක් හිමිකරගෙන සිටි බව මුලාශ්‍රවලින් හෙළිවන බව මහාචාර්ය හෙට්ටිආරච්චි පෙන්වා දී ඇත්තේ එබැවිනි.