විශ්මිත ප්‍රාතිහාර්ය පානා ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ
පොල්ගහවෙල මහමෙවුනා
භාවනා අසපුවේ නිර්මාතෘ
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
අපගේ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යවත් ධාතුන් වහන්සේගේ පරම්පරා කතාව ඔබ බොහෝ කාලයක් සිට ඉගෙන ගත් අතර, ඒ පිළිබඳව ඔබ දැනුවත් ඇතැයි සිතමු. ඒ ඉගෙන ගත් දේ ජීවිතයට ගලපා ගත්තා වන්නේ ධාතූන් වහන්සේ පිළිබඳව තමා තුළ ඇති වූ ශ්‍රද්ධාවත්, ගෞරවයත් අනුවය.
මහා පහන් වූ සිතින් යුතුව උතුම් ස්තුපයන් හෝ ධාතුන් වහන්සේ වන්දනා කරන්න හැකිනම් එයත් පිනට එක් උල්පතකි. එකිනෙකාගේ සිත පහදින ක්‍රම වෙනස්ය. සමහර අයගේ හිත බුදුගුණ ඇසෙනවිට පැහැදේ. සමහර අය නිරය, දෙව්ලොව, පේ‍්‍රත ලොව ආදි විස්තර ඇසෙනවිට තමා කළ පින්, කුසල් ගැන සිත සිතා පැහැදේ. සමහර අයට හිත පහදින්නේ ධාතුන් වහන්සේගේ විස්තර ඇසෙන විටය. සමහර අයට සිත පහන්වීම පිණිස උපකාර වන්නේ බෝධින් වහන්සේගේ ප්‍රාතිහාර්ය කතා ශ්‍රවණය කිරීම තුළිනුයි. ඒ නිසා බෝධීන් වහන්සේගේ අසිරිමත් විස්තර කතාව යම් කෙනෙකු ශ්‍රවණය කර සිත පහදවා ගනීනම් ඔහුට එය උපකාර පිණිස අද සිට ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පරම්පරා විස්තරය ඔබට ඉගෙන ගැනීමට හැකියාව ඇත.
මිහිඳු මහ රහතන් වහන්සේගේ දායාදය
එදා පොසොන් පොහෝ දිනක මිස්සක පව්වෙන් ඇසුණු දහම් හඬයි අදත් මේ රැව් පිළිරැව් දෙන්නේ. අපගේ භාග්‍යවතුන් වහන්සේ බුදු ඇසින් දුටුවේ අනාගතයේ තථාගත ශ්‍රී සද්ධර්මය පිහිටන්නේ ලංකාද්වීපයේ බව. පිරිනිවන්පානා මොහොතේ අපගේ තථාගතයන් වහන්සේ සක් දෙවිඳුට ලංකාව බාර කළේ එය ආරක්ෂා කරන්න කියමින්. මේ අපූරු විස්තරය මහා වංශයේ සඳහන් වේ. බුදුරජාණන් වහන්සේ චූලහත්ථිපදෝපම සූත්‍රය දේශනා කළේ ජානුස්සෝනි බමුණාටය. එදා ජානුස්සෝනි බ්‍රාහ්මණයා වී සිටියේ දේවානම්පියතිස්ස රජතුමා බව අටුවාවේ සඳහන්ව ඇත. එනිසායි මිහිඳු මහ රහතන් වහන්සේ ලංකා ගමනයෙන් පසු පළමු දේශනාව ලෙස චුල්ලහත්ථිපදෝපම සූත්‍රය දේශනා කොට වදාළේ. රජතුමා නුවණැති නිසාත්, සසර පුරුද්ද නිසාත් ඉක්මණින් දහමට පැහැදුණි.
රටවල් ගණනාවක ධර්ම ප්‍රචාරය සඳහා රහතන් වහන්සේ වැඩමවීමේදී ධර්මාශෝක රජතුමා තමාගේ පුත්‍ර රත්නයම ලංකාවට වැඩම්මවීමට කටයුතු යෙදීම මේ ධර්ම ද්වීපයේ ඉරණමයි. මිහිඳු මහරහතන් වහන්සේ නො වැඩියානම් අදවනවිට අපගේ ඉරණම කෙසේද? මොනවා කරමින් සිටීද? දරුණු ස්වභාවයෙන් මියගොස් සතර අපායේ වැටෙන්නයි සිදුවන්නේ. දකුණු අකු ධාතුන් වහන්සේත්, ප්‍රාත්‍රා ධාතුන් වහන්සේත් ලංකාවට වැඩම කරවිය. මිහිඳු මහරහතන් වහන්සේ පෞද්ගලිකව වන්දනාමාන කළ අෂ්ඨවංක මාණික්‍යය තුළ වූ තථාගතයන් වහන්සේගේ ඌර්ණ රෝම ධාතුවත් ලංකාවටම දායාද විය. හෙළවැසි රහතන් වහන්සේ බිහිවුණි. මාර්ගඵලලාභීන් බිහිවුණි. රුවන්වැලි මහා සෑය ආදී මහා ස්තූප වලට හරසර ලැබුණි.
මහාබෝධි පරම්පරාව මහින්දාගමනයේ දායාදයකි
මිහිඳු මහ රහතන් වහන්සේමයි අතීතයේ බෝධින් වහන්සේ ලංකාවේ වැඩසිටි විස්තරය වදාළේ. දැන් අනුරපුර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ සිටින පින්බිමේ මේ මහා භද්‍ර කල්පයේ පහළ වූ කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම යන සතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩසිටි විස්තර අතීතය දකිනා ඤාණයෙන් දේවානම්පියතිස්ස රජතුමාට විස්තර කළ සේක. අතීතයේ කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, යන සම්මා සම්බුදුවරු ජීවමානව වැඩ සිටිද්දීමයි රහත් භික්ෂුණියක් විසින් බෝධිය රෝපණය කළේ. අපේ බුද්ධ ශාසනයේ එය සිදුවන්නේ මිහිඳු මහරහතන් වහන්සේගේ සමයේ මිහිඳු මහරහතන් වහන්සේ මුල් වීමෙනි. දේවානම්පියතිස්ස රජතුමාගේ පූර්ණ රාජ්‍යය අනුග්‍රහයෙන් බෝධින් වහන්සේ වැඩමවන්නට කරුණු යෙදුණි. ඒ බෝධි ආගමනය අතිශයින්ම ප්‍රාතිහාර්ය කතාවකි. විස්මිත සිද්ධිදාමයකි. ඒ විස්තරය අප ඉදිරියේදී ඉගෙන ගනිමු.
බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨාන පහ
පිරිනිවන් මංචකයේ වැඩසිටින අපේ බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨාන පහක් කළ බව වංශකතාවල සඳහන් වේ. එයින් අධිෂ්ඨාන තුනක්ම බෝධින් වහන්සේ සම්බන්ධවය .
01. ධර්මාශෝක නරේන්ද්‍රයා බෝධින් වහන්සේ ලංකාවට වැඩමවන්නට කටයුතු යොදද්දී දක්ෂිණ ශාඛාව මහා බෝධියෙන් ඉබේම වෙන් වෙත්වා.
02 බෝධියෙන් මිදී රන් කටාරමේ පිහිටි දක්ෂිණ ශාඛාව ආකාශයට පැන නැඟී වලාවෙන් වැසී දින සතක් පවතීවා.
03. බෝධින් වහන්සේගේ පත්‍රයෙනුත්, බීජයෙනුත් සවනක් ඝණ බුදුරැස් විහිදේවා යනුවෙන් ඒ ප්‍රාර්ථනා අතර තුනක්ම බෝධින් වහන්සේ සම්බන්ධවය . ඒ නිසායි බෝධි පරම්පරාවෙන් එන බෝධින් වහන්සේගේ ප්‍රාතිහාර්ය නොයෙක් අයුරින් සිදුවෙන්නේ. අදටත් එවැනි ප්‍රාතිහාර්ය සිදුවේ. 1929 දී උම්මත්තක මිනිසෙකුගෙන් බෝධින් වහන්සේට සිදුවුකළ අනතුර මිස ආක්‍රමණවලට හෝ වෙනත් උපද්‍රවයකට අනුරාධපුරයේ වැඩසිටින ශ්‍රී මහා බෝධීන් වහන්සේට කිසිදු අනතුරක් කරන්නට කිසිවෙකුට නොහැකි වූ බව ඉතිහාසය අධ්‍යනය කරද්දී පෙනී යයි.
අපේ රටේ ඉරණම බෝධින් වහන්සේගෙන් ප්‍රකට වේ
මහාබෝධින් වහන්සේ අනුරාධපුර උඩමළුවේ රෝපණය වූයේ සෘර්ධියෙනි. නොයෙක් ප්‍රාතිහාර්ය සිදුවිය. බෝධින් වහන්සේට ධර්මාශෝක රජු දඹදිව තලයෙනුත් දේවානම් පියතිස්ස රජු ලංකාදීපයෙනුත් පිදූ අතර ඡත්‍ර සේසත් වලින්ද පිදුනු ලැබීය. ඒ කෙසේද කියා ඉදිරියේදී අප සාකච්ඡා කරන්නෙමු. ලංකාවේ සමෘද්ධිමත් කාලවලදී මෙන්ම අභාග්‍යසම්පන්න කාලවලදීද යම් හෝඩුවාවක් බෝධීන් වහන්සේගෙන් සොයාගත හැකි බව අප අසා තිබේ. සුනාමියට කලින් බෝධි ප්‍රාකාරයට හානි වුණි. ඒ වගේම යම් වෙනසක් බෝධින් වහන්සේ ඇසුරුකොට සිදුවේ නම්, එය රටටම සිදුවන වෙනසක ලකුණක් බව පැරණි මිනිසුන් කියති. අලි එළවමින්, දරමිටි ගෙනෙමින්, කවි කියමින් ජය ශ්‍රී මහ බෝ සමිඳු වැන්ද ශ්‍රද්ධාවන්ත අතීතයක් අපට තිබේ. මහා බෝධියට කිරි ආහාර පූජා නොකොට අස්වැන්න බුක්ති විඳින එක පාපයක් කියා හිතපු මිනිසුන් ඉතාමත් ගෞරවයෙන් ශ්‍රී මහා බෝධියට වන්දනා කළහ. භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා කමල වඳින ආකාරයට ඔවුන් මහා බෝ පා මුල වන්දනා කළේය. බෝ පත් මුල් පෑගුණත් ශ්‍රද්ධාවන්තයා සමාව ගත්තේය.
ඔබ දන්නවාද?
ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ පරම්පරා කතාවත්, ආනන්ද බෝධි පුරාණයත් විශේෂයෙන් අෂ්ඨඵල බෝධි, දෙතිස්ඵල බෝධි පිළිබඳ විස්තරත් පරම්පරා බෝධිවල විස්තරත්, බෝධි ප්‍රාතිහාර්යත් ඉදිරියේදී විස්තර වේ. බෝධි වන්දනා කළ සැදැහැවතුනට ලැබුණ අපූරු විපාක හා ආනුභව සම්පන්න බෝධි වන්දනාවක් කරන ආකාරයත් බොහෝ දෙනා දන්නා බවක් දන්නට නැත. හේතුව බෝධින් වහන්සේට විප්‍රකාර සැරසිලි කරමින් කරන පූජා දුටුවිට එසේ සිතේ. බෝධීන් වහන්සේ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ උතුම් අවබෝධයට පිට දුන් වෘක්ෂය යි. “බෝධිය” ලෙස එය හඳුන්වන්නේ චතුරාර්ය සත්‍යාබෝධය ඇසතු වෘක්ෂය යටදී සිදුවූ නිසායි. ඒ ගැන තවත් විස්තර ඉදිරියේදී කථා කිරීමට බලාපොරොත්තු වෙමු.
බෝධීන් වහන්සේගේ පරම්පරා කතාව ඉගෙනගෙන හිත පහදවාගෙන පින් දහම්, කුසල් දහම් රැස්කරගෙන සසර දුකින් නිදහස් වනු කැමැති පිනැතියන් අද සිට දිගහැරෙන ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආනුභාව සම්පන්න පරම්පරා කතාව පහන් සිතින් ඉගෙන ගනිත්වා.
පූජනීය වෘක්ෂයක් වූ ශ්‍රී මහා බෝධින් වහන්සේ
අප අද සිට පිළිවෙලට බෝධීන් වහන්සේගේ පුරාණ කතාව ඉගෙන ගන්නා අතර, එය ඔබට ලැබෙන විශේෂ වාසනාවක්ද වනු ඇත. පෙර අප ඉගෙන ගත්තා බුදුරජාණන් වහන්සේ නමකට උතුම් සම්බුද්ධත්වය සඳහා සෙවන සලසන බෝධීන් වහන්සේ හටගන්නේ පෘථිවියේ මධ්‍යය මණ්ඩලයේ කියා. ඒ ස්ථානය දඹදිව වජිරාසනය පිහිටි බුද්ධගයාව. මේ පෘතුවිය හට ගන්නාවිට එතනැයි මුලින්ම හට ගන්නා ස්ථානය. ලෝකය විනාශ වනවිට අවසානයට විනාශ වන්නේ බෝධි භූමියයි.
බුද්ධ ශූන්‍ය කාලවලදී සුදුවැලි ඇතිරූ තණකොළ නැති පිරිසුදුව භූමියක් ලෙස එම ස්ථානය පවතී. සක් දෙවිඳුටවත් බෝධි භූමියට උඩින් යාමට බැරි බව කියයි. අපේ බුදුරජාණන් වහන්සේට පමණක් නොවේ සෑම බුදුරජාණන් වහන්සේ නමකටම සම්බුද්ධත්වයට සෙවන සලසන්නේ වෘක්ෂයකි.
සත් බුදුරජාණන් වහන්සේලාගේ බෝධි
දීඝ නිකායේ “මහා පදාන” සූත්‍රයේ සඳහන් වන්නේ කල්ප සියයක් ඇතුළත ලොව පහළ වූ බුදුරජාණන් වහන්සේ පිළිබඳව යි. කල්පයක් කියන්නේ ඉතා දීර්ඝ කාලයකි. උපමාව මේ වගේ. යොදුනක් දිග (කි.මී.10 කියා සිතන්න) යොදුනක් පළල යොදුනක් උස පෙට්ටියක් තිබේ. එහි අබ පුරවා තිබෙන අතර, සම්පූර්ණයෙන්ම අවුරුදු සීයයකට එක් වතාවක් යම් පුරුෂයෙක් මෙයින් එක් අබ ඇටයක් ඉවත් කරති. ඒ ආකාරයට තවත් වසර සීයකට පසු තවත් අබ ඇටය ඉවත් කරති. ඒ අබ පෙට්ටියේ අබ ඉවර වුවත් කල්පයට තිබෙන අවුරුදු ගණන අවසන් නොවේ. එසේනම් කොපමණ දීර්ඝයි ද?
මීට කල්ප 91 කට පෙර ලොව පහළ වූ විපස්සී බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වුණේ පලොල් වෘක්ෂයක් මුල. ඊට කල්ප 31 කට පෙර බුදු වූයේ සිඛී සම්බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ සම්බුදු වුණේ ඇටඹ ගසක් මුල. ඒ කල්පයේම වෙස්සභූ නමින් තවත් බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණි. ඒ කාලේ බෝධිය වුණේ සල් ගසකි. මේ මහා භද්‍ර කල්පයේ මුලින් පහළ වූ කකුසඳ බුදුරජාණන් වහන්ස්ගේ බෝධි වෘක්ෂය වුයේ මහරී වෘක්ෂයයි. ඊළඟට කෝණාගමන බුද්ධ ශාසනයේ දිඹුල් බෝධීන් වහන්සේ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ නුග රුකක් මුල බුද්ධත්වයට පත්වුණි. නුග බෝධියට තමා ඒ කාලයේ වැඳුම් පිදුම් කළේ. සෑම බුද්ධ ශාසනයකම බෝධීන් වහන්සේට පූජෝපහාර සිදු වී ඇත.
ඇසතු බෝධිය උපත
මේ මහා භද්‍ර කල්පයේ සතරවැනි බුදුරජාණන් වහන්සේ ගෞතම අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේය. එදා වෙසක් පොහෝදා උන්වහන්සේ ලුම්බිනියේ උපත ලබන තුරු ගයාවේ වජිරාසන භූමියේ කිසිදු ගසක් නොතිබුණි. තණකොළ ගහක්වත් නොමැත. වෙසක් පෝදා ලුම්බිනියේ බෝධි සත්ත්වයන් වහන්සේ උපදින විටම ඒ මොහොතේමයි මව් ශාඛාවක් නොමැතිව ඇසතු වෘක්ෂය වජිරාසනයෙන් මතුවුණේ. එය සහජාත වස්තුවකි. අශ්වත්ථ කියාත්, පිප්පලි කියාත් හඳුන්වති. ඒ වෘක්ෂයන් ගැන බොහෝ දෙනා නොදනී. බෝසත් සිදුහත් කුමරා යසසින් වැඩෙන්න වැඩෙන්න ඇසතු රුකත් වළාකුලක් වගේ වැඩුණි. ඒ වෘක්ෂයේ පුදුම ආශ්චර්යයක් තිබුණි. ඒ තමා කැලේ දර සොයන්න යන අය ඒ වෘක්ෂය කපන්නේ නැත. ඔවුන්ට හිතෙන්නේද නැත. ඒ කාලයේ බෝධිය කියා කතාවක් නොතිබුණි. රිලවුන්, වඳුරන්, ගවයන්, අලි ඇතුන් ළඟිින් යති. එති. නමුත් ඉති කඩන්න හිතෙන්නේ නැත. අනාගතයේ මහා පින්වන්තයෙකුට ලෝකයම අවබෝධ කරන්න සෙවන සලසන්න මේ උතුම් වෘක්ෂය නිරුපද්‍රිතව වැඩුණි.
අභිනිෂ්ක්‍රමණය කර වැඩියේ ඇසතු වෘක්ෂය දිශාවටය
සිදුහත් කුමරු ගිහිගෙයින් නික්මි හිස හැරුණේ මගධය දිශාවට. නේරංජරා නදියෙන් එහා සේනානි ගම (අද දුර්ගේශ්වරී පැත්ත) මහත් දුෂ්කර ක්‍රියාව සිදු කළ ප්‍රදේශය. කෙසේ හෝ සය වසරක් ගතවුණි. දැන් බෝධින් වහන්සේටත් වයස අවුරුදු තිස් පහකි. අවුරුදු තිස්පහකට පසු බෝධිය හොඳින් අතුපතර විහිදා ගිය වනස්පති වෘක්ෂයකි. සුජාතාව දුන් කිරිපිඬුත් වළදා මහාබෝධි සත්ත්වයෝ නේරංජරා නදියේ මේ පැත්තට පැමිණුනි. එයයි ඉරණම. ධර්මතාවය. කිරිපිඬු වැළඳුවේ එගොඩ. ඇසතු රුක මෙගොඩ. මහා බෝධි සත්ත්වයෝ ඒ විස්තර නොදනී. මෙගොඩට වැඩිය අතර, සොත්ථිය බමුණා දුන් කුසතණ මිටි අටත් රැගෙන භාවනාවට වාඩිවෙන්න තැන විමසද්්දී එකවරම සිත ඇඳී ගියේ මේ වනස්පති වෘක්ෂයටය. එය ධර්මතාවයකි. ඇසතු රුක වෙත වැඩිය මහා බෝසතාණෝ වටේට ගමන් කරන්නේ කුස තණ අතුරන්න තැනක් බලමින්. හොඳට මට්ටම් වෙලා පහසුවෙන් හිඳගැනීමට බිම තිබුණේ නැඟෙනහිර පැත්තෙනි. එයත් ධර්මතාවයකි. උන්වහන්සේ අසුන් ගති. මේ වෘක්ෂය තවමත් බෝධියක් නොවේ. දස දහසක් ලෝක ධාතුවල දෙව් බඹුන් පැමිණුනි. එදා වෙසක් පුන් පෝය දිනයයි.
මාර යුද්ධයේදී තනි නොතිනියට සිටි බෝ රජුන්
දස බිම්බරක් මාරසෙනඟ ගුගුරුවා ගෝරනාඩු කරමින් එද්දී සියලුු දෙව් බඹුන් පළා ගියේය. නො සැලී අප මහා බෝසතුන් පිටුපස වී සිටියේ ඇසතු බෝ රජාණන් වහන්සේ. එදා සිදු වූ මහා භයානක මාර යුද්ධය විඳ ගත්තේ බෝ රජුන්. මාර පරාජය කොට මුනිඳු දැහැන් වඩනවිට එය විඳගන්තේ බෝ රජුන්. තුන්යම ත්‍රිවිද්‍යා ලබනවිට ඒ අසිරිය විඳගත්තේ බෝ රජුන්. අපුරු ලොවට හිරු මඬලක් සේ දුක් විඳින සත්ත්වයන් සසරින් නිදහස් කරවන්නට තුන් ලොවටම අගරජු ලෙස පොළොව කම්පා කරමින් මහත් වූ ආලෝක දහරා විහිදුවමින් මහත් ආශ්චර්යය මැද්දේ සම්බුදු වනවිට ඒ අසිරිය විඳගත්තේ බෝ රජුන්. පුරා සතියක් අරහත්ඵල සමවත්සුව විඳිමින් බෝ සෙවනේම භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි සේක.
ඇසතු වෘක්ෂය බෝධීන් වහන්සේ නමක් විය
අපගේ භාග්‍යවතුන් වහන්සේට උතුම් චතුරාර්යය සත්‍යය ධර්මය අවබෝධ කරන්නට සතර මග ඵල උපදවා ගන්නට උපකාර වූණා කියන අදහසිනුයි ඇසතු වෘක්ෂයට “බෝධී” කියන ව්‍යවහාරය ආවේ. ඒ උතුම් බෝ සෙවනේ පෘතුවියේ අන්කිසි තැනක සම නොවැදුන බුදු කෙනෙකු උපදවාගත් සියලු සමාධි, සමාපත්ති, ඥාන, විද්‍යා, ගුණ ආදියට සමවැදුනි. නව අරහාදි ගුණ, දසබල ඤාණ, විශාරද ඤාණ, සබ්බඤ්ඤුත ඤාණ , මහාකරුණා සමාපත්ති ඤාණ ආදී නොයෙකුත් ගුණ උපදවා ගනු ලැබුවේ බෝ සෙවනේදී ය. උන්වහන්සේගෙන් විහිදුන නිකෙලෙස් කාන්තිය බෝ රජුන් උරාගති.
භාග්‍යවතුන් වහන්සේගේ නේත්‍රා පූජාව
දෙවන සතියේ ඊසාන දිශාවේ සිට බෝ රජුන් දෙස පුරා සතියක් ඇසිපිය නොහෙළා බලා සිටිසේක. එයට “අනිමිසලෝචන පූජාව” කියා හඳුන්වති. භාග්‍යවතුන් වහන්සේගේ නිල්වන් නෙත් සඟලින් ඒ ආකාරයට එපමණ කාලයක් බලා සිටිය වස්තුවක් මේ තුන් ලෝකයේම නැත. භාග්‍යවතුන් වහන්සේගේ නේත්‍ර සඟලින් පිදුම් ලැබූ බෝධීන් වහන්සේ කොතරම් පූජනීයද? ගෞතම බුදු සසුන පවතින තුරු සකල සතට සෙත සලසන්නට උතුම් බෝධින් වහන්සේ තුළ බුද්ධානුභාවය ගැබ්වුණි. කෘතගුණ සත්පුරුෂ ධර්මය භාග්‍යවතුන් වහන්සේ ලොවට පෙන්වා වදාළහ. තුන්වැනි සතියේ භාග්‍යවතුන් වහන්සේ සක්මන් කළේ බෝ සෙවනේම ය. එවිට ඒ භූමිය පවා කොතරම් පූජනීයද? දඹදිව ගියවිට අපට ඒ ස්ථාන වන්දනා කරන තරමට පින් රැස්වේ. භාග්‍යවතුන් වහන්සේ සත් සතියම බෝධින් වහන්සේ අවටමයි වැඩ වාසය කළේ. අපගේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වූ මොහොතේ පටන් අද දක්වාම බෝධීන් වහන්සේ පිදුම් ලබති.
එතැනින් පසු වූයේ කුමක්ද?
භාග්‍යවතුන් වහන්සේ ධර්මචක්‍රය පැවැත්වීමට බාරාණසිය බලා වැඩම කළ සේක. බෝධින් වහන්සේ විරාජමානව වැඩ සිටි අතර, පසු කාලයේ ඒ අවට විහාර ආරාම ඇතිවුණි. බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලයේම බොහෝ අය බෝධීන් වහන්සේට වැඳුම් පිඳුම කරති. ඒ සම්බන්ධ විස්තර අප ඊළඟ ලිපියෙන් කතා කරමු. කෙසේ නමුත් දෙවියන්, බඹුන්, නාගයන් බොහෝ දෙයින් ඒ කාලයේම බෝධීන් වහන්සේට උපහාර කළ අතර, වැඳුම් පිදුම්ද කළහ. බුදුරජාණන් වහන්සේ උන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වූ ආකාරය විස්තර කරද්දී බෝධින් වහන්සේ ගැන විස්තර කළ අවස්ථා බුද්ධ දේශනාවල තිබේ. ආනන්ද බෝධින් වහන්සේ හට ගන්නේත් මේ උතුම් බෝධින් වහන්සේගේ බීජයකිනි.
අප තවත් විස්තර ඉදිරි ලිපිවලින් කතා කරන්නෙමු. ශ්‍රී මහා බෝධින් වහන්සේගේ ආනුභාවයෙන් ඔබට සෙත් වේවා.
පින වැඩෙන බෝධි වන්දනාව
අප කථා කරමින් සිටින්නේ ශ්‍රී මහා බෝධින් වහන්සේගේ පුරාණ කතාවයි. ඇසතු වෘක්ෂය බෝධින් වහන්සේ නමක් වූ ආකාරය අප කථා කළේය. අද එතැන් සිට. . . .
අපගේ බෝධීන් වහන්සේගේ පරම්පරා විස්තරය ඉතාමත් සුන්දරය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ උතුම් සම්මා සම්බුද්ධත්වයට පත්ව සති හතක් බෝධීන් වහන්සේ ඇසුරු කොට ඒ අවට නොයෙක් සමාපත්තිවලින් වැඩ සිටි සේක. ඒ සත් සතිය වන්දනා කරන ගාථාව මෙසේය.
පඨමං බෝධි පල්ලංකං - දුතියංච අනිම්මිසං
තතියං චංකමණං සෙට්ඨං - චතුත්තං රතනාඝරං
පංචමං අජපාලංච - මුචලින්දේන ඡට්ඨමං
සත්තමං රාජායතනං - වන්දේතං මුනිසේවිතං
පළමු සතියේ බෝ සෙවනේද, දෙවන සතියේ අනිමිස ලෝචන පූජාවද, තුන්වැනි සතියේ රුවන් සක්මනේද, සතරවන සතියේ දෙවියන් මවා පෑ රතන කුටියේද, පස්වන සතියේ අජපාල නුගරුක මුලද, සයවන සතියේ මුචලින්ද නාග දරණයේද, සත්වන සතියේ රාජායතන කිරිපළු රුක මුල ද වැඩ සිටි සේක. අපගේ මුනින්ද්‍රයන් වහන්සේ සේවනය කළ ඒ උතුම් ස්ථාන වන්දනා කරමි. ඉහත ගාථාවේ තේරුම යි.
ඒ වගේම අපගේ බුදුරජාණන් වහන්සේ බෝ මැඬදී උතුම් සම්මා සම්බුද්ධත්වයට පත් වූ විට දෙවියන්ට සම්බුද්ධත්වය පිළිබඳව සැකයක් ඇතිවිය. ඒ දෙවියන්ගේ සැකය දුරු කිරීම පිණිස භාග්‍යවතුන් වහන්සේ යමාමහා පෙළහර පෑ සේක. ඒ අසහාය ප්‍රාතිහාර්යය පළමුවෙන් සිදුවූයේ බෝධීන් වහන්සේ අසළය. බුදු සිරුරෙන් විහිදෙන ගිනිදැල් හා ජල දහරාවේ පහස බෝධීන් වහන්සේට ලැබුණ අතර, බෝධීන් වහන්සේ තව තවත් පූජනීය විය.
බෝධි පොත්තකට කළ වන්දනාව
මේ සිදුවීම වූයේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි කාලයේදීම ය. උන්වහන්සේ ගයාවෙන් පිටත්වී අමාදම් බෙදමින් අන් අයට යහපත පිණිස චාරිකාවේ වැඩි සේක. නැවත බෝධි භූමිය වැඩි බවට විස්තරයක් බුද්ධ දේශනාවල හමු නොවේ. නමුත් ගිහි පැවිදි කා අතරත් උතුම් බෝධි භූමිය ගැන දැනුවත් වීමක් තිබුණි. වන්දනා කරන්න බොහෝ දෙනා පැමිණි අතර, බොහෝ පුද පූජාවන්ද පැවැත්වුණි. එක් දිනක ඉතාමත් ශ්‍රද්ධාවන්ත අඹුසැමි යුවලක් බෝධීන් වහන්සේ වන්දනා කිරීමට පැමිණ අධිෂ්ඨානයක් ලෙස සිදුකළේ අප සරණ ගිය භාග්‍යවතුන් වහන්සේගේ අධිෂ්ඨානය මේ පින්බිමේ සඵල වූවාසේ අපගේ ප්‍රාර්ථනාව ද සඵල වේවා. අපට ද පින්වත් දරුවෙකු ලැබේවා කියා ප්‍රාර්ථනා සිදුකොට වන්දනා කළේය. වන්දනාව අවසානයේ ඔවුන් දුටුවේ බෝධීන් වහන්සේගෙන් ගැලවී ගිය පොතු කැබැල්ලක් වැටී ඇති ආකාරය යි. ඔවුන් එය රැගෙන නිවසට ගොස් සුවඳ කැවූ මඤ්ජුසාවක තැන්පත් කළේය. එයට දිනපතාම වන්දනා කරති. කාලයකදී ඔවුන්ට පුත් රුවනක් ලැබුණි. ඔහු රන්වන් පාටයි. පින්වත් දරුවෙක්. ඔවුන් චාරිත්‍රයක් ලෙස පොහෝ දිනයේදී අර මඤ්ජුසාවේ පියන විවෘත කොට ධර්මය සජ්ඣායනා කරති. ශ්‍රද්ධාවන්ත මේ දෙපළ භාග්‍යවතුන් වහන්සේ ජීවිතය ගැන කියා දෙන ධර්මය මතක තබාගෙන එය සජ්ඣායනා කළේය. ඒ කාලයේ මිනිසුන්ගේ ප්‍රඥාව, නුවණ හොඳින් වැඩී තිබුණි.
පෙර ජීවිතය සිහි වීම
දැන් පුංචි පුතාට අවුරුදු හතකි. ඔහුත් මාපියන් සමඟ පොහෝ දිනට “බෝධි පොත්ත” තැන්පත් මඤ්ජුසාව එළියට ගත්විට වන්දනා කරති. ධර්ම පාඨ අසාගෙන සිටිති. දිනක් ඔහුගේ සිත එකඟ විය. එහෙනම් මේ දරුවා සංසාරයේ සමාධිය පුරුදු කළ කෙනෙකි. සසර පුරුද්දට එසේ විය.
එසේ වූයේ කෙසේද?
මේ දරුවා බොහෝ කාලයකට පෙර හිමාලයේ නාරද කියා සෘෂිවරයෙකි. ඔහුට සමාධි සිත ඔස්සේ සියල්ල සිහිපත් විය. ගෝලයෝ තිස් දහසක් සිටි අතර, සියලුම දෙනා මේ තාපසයාට නමස්කර කරති. සත්කාර සම්මාන කරති. මේ තාපසයා දිනක් කල්පනා කරන්නේ් මේ සියලුම දෙනා වන්දනාමාන කරන්නේ මටයි. මමත් කාට හෝ වඳින්න පුදන්න ඕන කියා කල්පනා කළේය. ඔහු අතීතයේදී බුදුරජාණන් වහන්සේ පිළිබඳව අසා තිබුණි. ඒ බුදුවරු උදෙසා සිත පහදවා ගති. ඒ අසපුව ළඟින් “අමෙරිකා” නමින් ගංඟාවක් ගල බසී. ඒ ගංඟාවේ ඉවුරේ වැලිවලින් සෑයක් සාදා බුදුරජාණන් වහන්සේ යැයි සිතා ඒ සෑයට වන්දනා මාන කරති. දිනක් ඔහු සෘර්ධියෙන් රන්මල් තුන්දහසක් මවා සෑය සරසා වන්දනා කළේය.
ගෞරවයයි වැලි සෑයයි
දැන් මේ තාපසින් වහන්සේට හිතට අකුසලයක් ආ විට “මම බුදුරජාණන් වහන්සේගේ සෑයක් ඇසුරු කරන කෙනෙක් නේ” කියා සිතා ඒ අකුසලය බැහැර කරති. එහෙනම් ඒ වැලි සෑයට ඔහුගේ තිබුණ ගෞරවය අප්‍රමාණ නොවේද? අකුසල් හිතට ගරහමින් කුසල් සිත රැකගනිමින් වසර තිස්දහසක් තවුස්දම් රැක තිබේ. කාලයකදී මොහු මියගොස් බඹලොව ඉපදුනි. ඉන් චුතවයි මේ මිනිස් ලොව අර දරුවා ලෙස ඉපදී ඇත්තේ. මේ විස්තර දරුවාට සිහිවුණි. මාපියන් බෝධීන් වහන්සේට බුදු කෙනෙකුට වගේ පුද සත්කාර කරනවා වගේම මමත් වැලි සෑයකට පිදුවනේ කියා මහත් පී‍්‍රතියක් ඇතිවුණි. සිත බලවත්ව සමාධිමත් වුණි. දැන් මාපියන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ප්‍රතිසංයුක්ත ධර්මය සජ්ඣායනා කරනව විට මේ පින්වත් දරුවාට එය වැටහුණි. පුංචි වයසේම ගිහි ඇඳුම දරමින්ම ඒ ආසනයේම අරහත් ඵලයට පත්වුණි. ඉන්පසු සංඝයා ළඟ පැවිදිවූ බව ආපදාන පාලියේ පුලිනථූපීයෙථිරාපදානයේ විස්තර වේ.
නිවනට මඟ පෑදුවේ බෝධි පූජාව
දැන් ඒ දරුවාගේ සිත නිවනට මඟ පෑදුවේ බෝධීන් වහන්සේගේ පොත්තකට කළ වන්දනාව නොවේද? මේ ලෙස අප්‍රකට කථා තව කොතරම් නම් ඇද්ද? ඒ කාලේ ශ්‍රද්ධාවන්ත පිරිස් බෝධීන් වහන්සේගෙන් ගිලිගී වැටෙන පත්‍රය පවා පූජනීය ලෙස සැලකුවේය. එනිසා ඔබ අදත් බෝධින් වහන්සේ නමකට ශ්‍රද්ධාවෙන් වන්දනා කරන්නේනම් එයත් විශාල පිනකි.
භාරහාර
ස්තූපවලටත් වඩා බෝධීන් වහන්සේ ළඟ මිනිසුන් භාරහාර වේ. එය අදටත් දකින්නට ලැබේ. සාරා අසංඛෙය්‍ය කල්ප ලක්ෂ ගණනක් පෙරම්පුරා අපගේ භාග්‍යවතුන් වහන්සේ ඒ වජ්‍රමය ප්‍රාර්ථනාව සඵල කර ගත්තේ බෝ සෙවනේ නිසා බොහෝ අය බෝ සෙවනේ නොයෙක් ප්‍රාර්ථනා කරති. ඒවා ඉෂ්ඨ නොවෙනවානම් මේ තාක් ඒ චාරිත්‍ර පැවත එන්නේද නැත. නමුත් නිවැරැදි ලෙස බෝධි පූජාවක් කරන අය නම් සීමිත බවයි අපගේ අදහස. ඒ ගැන ඉදිරියේදී අප කථා කරන්නෙමු. පහත ගාථා රත්නය ඉතා පැරැණි බෝධි වන්දනාවකි. එය පාඩම් කරගෙන ඔබ නිතර වන්දනා කරන්න පුරුදු වුවොත් එයින් සෙත සැලසේවි.
වජිර සංඝාත සරීරෝ - වජිර ඤාණ නමාකරෝ
යෝ බුද්ධෝ බෝධි මූලම්හි - නිසින්නෝ වජිරාසනේ
පඨමේ පුබ්බේනිවාසං - මජ්ක්‍ධිමේ දිබ්බචක්ඛුකං
පච්ජිමේ සබ්බසංඛාරේ - සම්මස්සං ලක්ඛකෝටියං
ඡත්තිංසාය කෝටි සතසහස්ස - මුඛේන පච්චයං
ඕතාර මහා වජිරේන - සුසම්බුධාවක්ඛයං
බුද්ධභූමි නිට්ඨංයෝ - සෝ මහා වජිරාඤාණසා
බෝධතෙයියෝ සුඛෝධෙත්වා - බෝධේසිතං නමාමහං
(සිංහල තේරුම)
වජිරාසන මත වැඩහිඳ- විදුරු නැණබලින් සපිරුණ
නුවණ විහිද වූ මුනිඳුන් - සදා වඳිමි මම්
බෝධි මූලයේ සෙවනේදී - පුදා දිවි උතුම් නිවනට
පරදා සේනා ඇති මරු - පින් බලය මතු කළේ
සොයාගත් නිවන් මඟ තුළ - සම්බෝධිරාජ බවට පැමිණ
පුබ්බේනිවාස ඤාණය ලැබ – ප්‍රථම යාමයේ
සුගති දුගතියෙහි ඉපදෙන - ලෝ සතුනගේ දුක දැනගෙන
දිවැස් නුවණ ලැබූ සේක – මැදුම් යාමයේ
සියලුම සංස්කාර ලොවේ – නුවණින් විමසා බලමින්
ලක්ෂ කෝටි වාර ගණන් – එය මෙනෙහි කළේ
සතිස් කෝටි සිය දහසක් - හේතුඵල දහම් විමසා
මහා විදුරු නැණ බලයෙන් – ඇති තතු වටහා
සම්මා සම්බුදු බව ලැබ – නසා හැම කෙලෙස් පිරිසිඳ
දිනු සේක මෙහි වැඩහිඳ – බුද්ධ භූමියේ
මහා විදුරු නුවණින් යුතු - සම්බුද්ධරාජ මුනිඳුන් ලොව
නුවණැති දෙව් මිනිසුක් තුළ - නිවන මතුකළේ
ඒ උතුම් බෝධි නුවණට මම් – නැමී වැඳ වැටී සිරසින්
පහන් වූ සිතින් හැමවිට – වන්දනා කරම්
ආනන්ද බෝධින් වහන්සේගේ රෝපණය
බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටි කාලයේම බෝධීන් වහන්සේට නොයෙක් උපහාර පැවැත්වූ බව අප කථා කළේය. අද අප කථා කරන්නේ තථාගතයන් වහන්සේ ජීවමාන සමයේම රෝපණය කරන ලද ආනන්ද බෝධීන් වහන්සේ පිළිබඳව ය.
සැවැත්නුවර දෙව්රම් වෙහෙර
සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම වැඩ සිටින පූජනීය විහාරය දෙව්රම් වෙහෙරයි. මේ කල්පයේ පළමුව පහළ වූ කකුසඳ බුදුරජාණන් වහන්සේට වෙහෙර ඉදිකිරීම සඳහා ඉඩම මිලදීගෙන තිබෙන්නේ රන් උළු අතුරායි. කෝණාගමන බුද්ධ ශාසනයේ රන් ගඩොල් අතුරා ද, කාශ්‍යප බුද්ධ ශාසනයේ රන් උළු අතුරාද, අපගේ ගෞතම බුද්ධ ශාසනයේ රන් කහවනු අතුරාද ඉඩම මිල දී ගෙන ඇත. මෙය ධර්මතාවයකි. අනේපිඬු සිටුතුමා ජේත කුමරුගෙන් උයන මිලදීගෙන මහා විහාර සංකීර්ණය ඉදි කළේය. අපගේ බුදුරජාණන් වහන්සේ සූවිසි වසරක් වස්කාල ගත කළේ ජේතවනාරායේම ය. භාග්‍යවතුන් වහන්සේ වැඩිම වාර ගණනක් එක තැන වැඩ සිටියානම් ඒ ජේතවනාරාමය යි. එනිසා සැදැහැවතුන් නිතර නිතර ජේතවනාරාමයට එති. නමුත් සමහර කාලවලදී තථාගතයන් වහන්සේ චාරිකාවේ වැඩම කර තිබුණ හෙයින් දුර බැහැර සිට පැමිණෙන පිරිස ගන්ධ කුටිය ඉදිරියේ පිරිකර ආදිය තබා වන්දනා කර යති. ඔවුන් තථාගතයන් වහන්සේට වන්දනා කිරීමට නොහැකි වූවා යැයි කියමින් ශෝක කරති.
දිනක් අනේපිඬු සිටුතුමා ආනන්ද තෙරුන්ට කියා සිටියේ “ස්වාමිනි ආනන්දයන් වහන්ස, තථාගතයන් වහන්සේ වැඩ නො සිටින විට පැමිණෙන පිරිසට වන්දනාමාන කිරීමට යම් ස්ථානයක් හෝ පූජනීය දෙයක් තිබුණොත් යහපත් බව හැඟේ” යැයි කියාය.
ති‍්‍රවිධ චෛත්‍යයේ ආරම්භය
අපගේ ආනන්ද ස්වාමින් වහන්සේ මේ ගැන සිතා බලා සවස් කාලයේ භාග්‍යවතුන් වහන්සේ අසලට ගොස් වන්දනා කර අසා සිටින්නේ “ස්වාමිනි, භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ වෙනුවට වන්දනා කළයුතු යම් දෙයක් ලෝකයේ තිබෙනවාද?” කියායි. එහිදී ත්‍රිවිධ චෛත්‍යයන් පිළිබඳ වදාළ සේක. ආනන්දයෙනි, භාග්‍යවතුන් වහන්සේ යැයි සලකා වැඳුම් පිදුම් කළහැකි වස්තු, චෛත්‍යය තුනක් තිබේ. ඒ තථාගතයන් වහන්සේගේ පිරිනිවනින් පසු ඉතිරි වන ශාරීරික ධාතුන් වහන්සේ තැන්පත් කොට කරන ස්තූප (ශාරීරික ධාතු චෛත්‍යය) දෙවැන්න භාග්‍යවතුන් වහන්සේ පරිභෝග කරන යමක් තැන්පත්ව ස්තූප ඉදිකිරීම ( පරිභෝගික චෛත්‍යය ) තුන්වැන්න භාග්‍යවතුන් වහන්සේ වෙනුවට සංකේතයක් නිර්මාණය කොට (ප්‍රතිමා ආදිය) වන්දනා කිරීම. (උද්දේසික චෛත්‍යය )
නමුත් භාග්‍යවතුන් වහන්සේ ජීවමානව වැඩ සිටි කාලයේ ශාරීරික ධාතුන් වහන්සේ, උද්දේසික වස්තු ආදිය චෛත්‍යය ලෙස කරවන්නේ නැත. එනිසා භාග්‍යවතුන් වහන්සේ වදාළේ පින්වත් ආනන්ද, තථාගතයන් වහන්සේ උතුම් සම්බුද්ධත්වය ලබන මොහොතේ සේවනය කරන ලද බෝධීන් වහන්සේ තථාගතයන් වහන්සේ ජීවමාන සමයේත්, පිරිනිවන් පෑ පසුවත් එකලෙස වැඳුම් පිදුම් කිරීමට සුදුසු” බවය.
බෝධීන් වහන්සේට සත්කාර කිරීම
අපගේ ආනන්ද ස්වාමින් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගෙන් අසා සිටින්නේ “ස්වාමිනි, භාග්‍යවතුන් වහන්ස, ගයාවේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් බීජයක් ගෙනවිත් දෙව්රම් වෙහෙරේ දොරටුව සමීපයේ රෝපණය කරන්නදැ’යි කියා. එහිදී භාග්‍යවතුන් වහන්සේ අපූරු විස්තරයක් වදාළා.” ආනන්දයෙනි එය මැනවි. එසේ බෝධීන් වහන්සේ දෙව්රමේ රෝපණය වූ කල්හි මම නිරන්තරයෙන් ජේතවනාරාමයේ වාසය කරන්නා සේ වන්නේය” එසේනම් මෙහිදී බුදුරජාණන් වහන්සේ විසින්ම බෝධීන් වහන්සේට තමන් වහන්සේට සමාන කරති. එනිසා අපත් බුදුරජාණන් වහන්සේට ගරුසරු සත්කාර කරන්නා සේ බෝධීන් වහන්සේටත් සත්කාර කළ යුතු නොවේද? එයයි ශ්‍රද්ධාව. පහත පැරැණි දහම් පාඨය ‘සිංහල බෝධිවංශය’ ග්‍රන්ථයේ මෙසේ සඳහන් වේ.
චේතියං වන්දිත්වා බෝධියංගණං පත්තේනාපි බුද්ධස්ස - භගවතෝ සම්බුද්ධො විය පරමානිච්චාකාරං දස්සෙත්වා බෝධි වන්දිතබ්බං
‘සෑ රජුන් වැඳ බෝ මළුවට පැමිණ අපගේ භාග්‍යවතුන් වහන්සේ සේම සලකා පරම ගෞරව සත්කාර කර බෝධින් වහන්සේටද වැදුම් කළ යුතුය’ යන්නයි.
බෝධි මණ්ඩපය පිළියෙල කිරීම සහ බෝ බීජය වැඩමවීම
අපගේ ආනන්ද ස්වාමින් වහන්සේ කොසොල් මහරජතුමා, අනේපිඬුසිටුතුමා, විශාඛා උපාසිකාව ආදී ප්‍රභූ පිරිස සහභාගි කරගෙන සාකච්ඡා කොට ජේතවනාරාමයට ඇතුළු වන දොරටුව දිශාවෙන් මනරම් භූමියක් සුද්ධ පවිත්‍ර කර ඒ භූමිය මලින්, පුන් කලසින් මල් මාලාවෙන්, ධජ පතාකයෙන්, තොරණින්, සැරසූ අපූරුව බෝධිවංශයේ සවිස්තරව තිබේ. ඒ අතර ආනන්ද ස්වාමින් වහන්සේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේට කියා සිටින්නේ “ පි‍්‍රය ආයුෂ්මතුනි, මට ගයාවේ ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් බීජයක් රැගෙන ලබා දෙන්න” කියායි. අපගේ මහා මොග්ගල්ලාන මහා රහතන් වහන්සේ ඒ ඉල්ලීම පිළිගෙන ආකාශයෙන් බෝධි භූමියට වැඩම කොට ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් ඉදුනු බීජයක් ගිලිහෙනවා දැක සිවුරින් පිළිගෙන නැවත වැඩමකොට ආනන්ද ස්වාමින් වහන්සේට ලබා දුණි. ආනන්ද මහතෙරුන් වහන්සේ බෝධීන් වහන්සේගේ බීජය රෝපණය කිරීමට සියලු කටයුතු යොදා ඉතා මනරම්ව සැරසු පාරිශ්‍රද්ධ භුමියට සියලු දෙනා එක් රැස් කළේය.
බෝධින් වහන්සේ රෝපණය දින සිදු වූ ප්‍රාතිහාර්යය
ආනන්ද, මහ තෙරුන් වහන්සේ සැරසු භූමිය මැද මනරම් ස්වර්ණ කටාරමක සුවඳ පස් පුරවා පිරිසුදු පැණින් තෙත් කර කොසොල් මහ රජුන්ට උතුම් බෝ බීජය රෝපණය කිරීමට ලබා දුණි. එහිදී කොසොල් රජු කල්පනා කරන්නේ “ මේ රාජ්‍යය යම් දිනක සතුරෙකු අතට පත් වුවොත් ඒ සතුරු රජා මා කළ හැම දෙයකම විනාශ කරති. එවිට බෝධීන් වහන්සේටත් උවදුරු කරති. නමුත් මේ අනේපිඬු සිටුතුමා කාටත් පි‍්‍රයමනාප කෙනායි ඔහුට බෝ බීජය රෝපණය කිරීමට ලබාදිය යුතුයැයි සිතුවේය. ඉන්පසු සිටුතුමා සුවඳ මැට්ටේ බෝ බීජය රෝපණය කළේය.
බෝ බීජය සුවඳ මැට්ටේ තිබූ සැණින් සියලු දෙනා බලා සිටියදීම පනස් රියන් උස බෝධීන් වහන්සේ නමක් පැන නැඟුණි. ඒ මොහොතේමයි මේ ආශ්චර්යය සිදුවූයේ. ඊට සරිලන ආකාරයට සතර පැත්තට අතු ශාඛා හතරක් විහිදුණි. උඩට ගිය ශාඛාවත් සමඟ පංච මහා ශාඛාවෙන් වනස්පතිමහා වෘක්ෂයක් ලෙස බෝධීන් වහන්සේ සෘර්ධියෙන්ම වැඩුණි. ෂඩ් වර්ණ පිනිපොද ඇද හැළුණි. සැදැහැවතුන්ගේ සාදු නාදයෙන් දෙව්රම නින්නාද වුණි. රජතුමා ඇතුළු ඒ සියලු දෙනා පැළඳ සිටි ආභරණ ආදියෙන් බෝධීන් වහන්සේ පිදූ අතර, නිල් මහනෙල් හා නොයෙකුත් පුන් කලසින් බෝධීන් වහන්සේ සැරසුවේය. සුවඳ පැන් ඉස පැන් කළ පූජා කළේය. එදා සෘර්ධියෙන් හටගත් බෝධීන් වහන්සේමයි අදටත් සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ සිටින්නේ, එය කොතරම් වාසනාවක්ද? එසේනම් දඹදිව ආනන්ද බෝධීන් වහන්සේ කොතරම් පුරාණ බෝධීන් වහන්සේ නමක්ද? ආනන්ද ස්වාමින් වහන්සේ රෝපණය කළ නිසාත්, දුටු පමණින් ආනන්දය ඇතිවන නිසාත්, ඒ උතුම් බෝධිය “ආනන්ද බෝධිය” නමින් ප්‍රචලිත වුණි. පසු කාලයේ කොසොල් රජතුමා ඇතුළු පිරිස සුන්දර මණ්ඩප, ප්‍රාකාර තනවා උතුම් බෝධීන් වහන්සේ සුරක්ෂිත කළේය.
භාග්‍යවතුන් වහන්සේ සමාපත්ති සුවයෙන් වැඩසිටි සේක
ආනන්ද ස්වාමින් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගෙන් ඉල්ලා සිටින්නේ ගයාවේ වජිරාසන බෝ සෙවනේ සමවැදුන සියලු සමාධි සමාපත්තිවලින් මේ බෝ සෙවනෙත් වැඩ සිටිත්වා කියායි. භාග්‍යවතුන් වහන්සේ වදාළේ ආනන්දයනි, තථාගතයන් වහන්සේ නමක් සමවදින ඒ අසහාය සමාධි සමාපත්ති දරා ගන්නට පිළිවන් වන්නේ වජිරාසනයට පමණක් “ බවයි. එවිට ආනන්ද තෙරුන් වහන්සේ ඉල්ලා සිටින්නේ මේ භූමියට දරාගත හැකි පමණින් භාග්‍යවතුන් වහන්සේ පරිහරණය කරන සේක්වා” කියායි. ඉතින් බොහෝ දෙව් මිනිසුන්ට හිතසුව පිණිස, අදටත් වඳින වඳින අයට යහපත සලසන්නට අපේ භාග්‍යවතුන් වහන්සේ එදා රැය පහන් වනතුරු ආනන්ද බෝධි සෙවනේ නැඟෙනහිර දිශාවේ බෝධියට පිටදී සමාපත්ති සුවයෙන් වැඩ සිටි සේක.
එසේනම් දඹදිව ආනන්ද බෝධින් වහන්සේ කොතරම් පූජනීයද? සෘර්ධියෙන් හට ගත්තේය. ඒ වගේම ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ බීජයකි. භාග්‍යවතුන් වහන්සේ සේවනය කළ අතර, ඒ බෝධීන් වහන්සේ අදටත් වැඩ සිටිති. ආනන්ද බෝධින් වහන්සේ වන්දනා කරන්නන්ට කෙතරම් පින් රැස්වේද? ඒ බෝධින් වහන්සේගේ ආනුභාවයෙන් ඔබට සෙත් වේවා.
බුද්ධ පරිනිර්වාණයෙන් පසු ශ්‍රී මහා බෝධින් වහන්සේට වූයේ කුමක්ද?
දිවමන් මුනිඳුන් සමයේ භාග්‍යවතුන් වහන්සේගේ අනුදැනුම මතම රෝපණය වූ ආනන්ද බෝධීන් වහන්සේගේ විස්තරය අප කථා කළෙමු. බුදුරජාණන් වහන්සේ සකල සතට සෙත පිණිස ආනන්ද බෝධීන් වහන්සේ සෙවනේ නැඟෙනහිර දිශාවට මුහුණලා රැයක් පහන්වන තුරු සමාපත්ති සුවයෙන් වැඩිසිටි සේක.
දෙනෝ දහක් දෙන – වඳීනා බෝධිය
සෘර්ධියෙන් රෝපණය වීමක්, වජිරාසන බෝධීන් වහන්සේගේ බීජයක් වීමත්, බුදුරජාණන් වහන්සේ පරිභෝග කළ හෙයිනුත්, ආනන්ද ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේට මෙන් උපස්ථාන කළ හෙයිනුත්, රහතන් වහන්සේ පවා වැඳුම් පිදුම් කළ හෙයිනුත්, ශ්‍රද්ධාවන්තයන් බුදුරජුන් දුටුවා සේ ආනන්දයට පත් වූ හෙයිනුත්, මහත් වූ පුද සත්කාර ලැබූ හෙයිනුත් ආනන්ද බෝධීන් වහන්සේ පූජනීයත්වයෙන් දෙවැනි වූයේ වජිරාසන බෝධීන් වහන්සේට පමණි. එදා සෘර්ධියෙන් පැන නැඟුණු බෝධීන් වහන්සේ අද දක්වාම එලෙසම වැඩ සිටින සේක. සෘර්ධියෙන් පැන නැඟුණ ශාඛා පහෙන් ශාඛා කිහිපයක් වර්ෂ ගණනාවකට පසු කඩා වැටී ඇති නමුත්, මහා පෞරාණික තෙදවත් කඳ දරා ආනන්ද බෝධීන් වහන්සේ දෙනෝ දහසකගෙන් වැඳුම් ලබමින් අදත් සකල සතට සෙත සලසමින් වැඩ සිටින සේක. මෙය දෙව් මිනිස් ගෞතම ශ්‍රාවක දරුවනට ශාසනයේ උරුමයක්ම වන්නේය. සැවැත්නුවර ජේතවනාරාමයේ අතීතයේ තිබු ඒ නිකෙලෙස් සේයාව අද සේයාවක් විලස හෝ අපට දකින්නට ලැබෙන්නේ ආනන්ද බෝධීන් වහන්සේගෙන් පමණි. එනිසා දඹදිව වන්දනා ගමන් යන ඔබ ආනන්ද බෝ සමිඳු සෙවනේ ජීවමාන බුදුරජාණන් වහන්සේගේ සිරිපා කමල අභියස සේ වැඳ වැටී බුදුගුණ සිහි කළයුතු වේ.
ආනන්ද බෝධියට බෝධිපූජා කිරීම
අපල උපද්‍රව දුරු කරන සේ ලියූ කොඩිවැල්, ලෞකික ප්‍රාර්ථනා ලියූ කොඩිවැල්, රෙදි කෑලි ඇමුණු කොඩිවැල් ආදියෙන් එවැනි උතුම් බෝධින් වහන්සේ නමකට පූජනීය උපහාරයක් සිදුවේදැයි ඔබම සිතන්න. බුදුගුණ සිහිවෙන බෞද්ධ කොඩි, බෝ රජුන් වඳීන කවි, ආර්ය සත්‍යය සටන් කළ පතාක ආදිය පැළැදීමෙන් අපට පින් කරගත හැකිය. රන්සළු, චිවර, සුවඳමල්, ඖෂධ පූජා නොයෙක් පිරිකර පූජා කිරීම පින් රැස් කරවන්නේ ය. මෙහිදී වටිනා කාරණය වන්නේ සිත පහන් කර ගැනීමයි. බෝ සෙවනේ බුද්ධානුස්සතිය වඩන්නට, ආර්ය සත්‍යය සිහි කරන්නට, සිත සමාධිගත කරගන්නට ඇත්නම් එයට වඩා බෝධි පූජාවක් කොයින්ද? අපේ රටේ ආනන්ද බෝධි ශාඛාවෙන් හටගත් ශාඛ බොහෝමක් වැඩ සිටිති. ඒ බෝධීන් වහන්සේ ඉතා ශ්‍රද්ධාවෙන් පුද සත්කාර කොට වන්දනා කිරීමෙන් පින් රැස්කර ගත හැකිය.
වජිරාසන භූමියේ වැඩ සිටින ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ
භාග්‍යවතුන් වහන්සේ ජීවමාන සමයේම ගයාවේ උතුම් බෝ රජුන් ගිහි පැවිදි උතුමන්ගෙන් වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටි බව මීට පෙර විස්තර කළෙමි. කුසිනාරාවේ මල්ල රජ දරුවන්ගේ උපවර්තන සල් වනයේ සල්ගස් දෙකක් අතර පිරිනිවන් මංඤ්චකයේ වැඩසිටින භාග්‍යවතුන් වහන්සේගෙන් ආනන්ද ස්වාමින් වහන්සේ විමසන්නේ “ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටින විට නොයෙක් මනෝභාවනීය භික්ෂු භික්ෂූණින් භාග්‍යවතුන් වහන්සේ බැහැ දැකීමට වඩිති. එවිට අපට ද ඒ භික්ෂූන් ඇසුරු කරන්නට ලැබේ. දැන් භාග්‍යවතුන් වහන්සේ පිරිනිවීමෙන් පසු අප කෙසේනම් එවැනි භික්ෂූන් මුණ ගැසී ධර්ම කතාවේ යෙදෙන්නේද?” එවිට භාග්‍යවතුන් වහන්සේ වදාළේ පින්වත් ආනන්ද, ශ්‍රද්ධාවන්ත කුªල පුත්‍රයකු විසින් දැක වන්දනා කොට පහන් සංවේගයට පත්විය යුතු ස්ථාන හතරක් තිබේ. එනම්, (1) භාග්‍යවතුන් වහන්සේ උපන් ස්ථානය මෙයයි කියා ලුම්බිණිය දැක පහන් සංවේගය උපදවා ගැනීම, (2) මේ භාග්‍යවතුන් වහන්සේ උතුම් බුද්ධත්වයට පත් වූ ස්ථානයයි කියා ගයාවේ වජිරාසන භූමිය දැක පහන් සංවේගය ඇතිකර ගැනීම, (3) මේ භාග්‍යවතුන් වහන්සේ ප්‍රථම ධර්මචක්‍රය පැවැත්වූ ස්ථානය කියා බරණැස ඉසිපතනය දැක වැඳපුදා පහන් සංවේගය උපදවා ගැනීම, (4). මේ අපගේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑ ස්ථානය කියා මේ කුසිනාරාවේ උපවර්තන භුමිය දැක වැඳපුදා පහන් සංවේගය උපදවා ගැනීම.
පින්වත් ආනන්ද, යම් කෙනෙක් මේ උතුම් චේතිය වන්දනාවේ පහන් සිතින් එද්දී අතරමඟදී මියගියත් ඔහු සුගති ලොව උපදින්නේ ය. පින්වත් ආනන්ද, මේ සතර ස්ථාන වන්දනා කිරීමට පැමිණෙන මනෝභවනීය භික්ෂූන් ඔබට ඇසුරු කිරීමට ලැබෙන්නේ ය.
ඒ අනුව ශ්‍රද්ධාවන්ත කුල පුත්‍රයෙකු මේ අපගේ භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වයට පත්වූ බිමයි සිතමින් නිතර වන්දනා කළේ ජයශ්‍රී මා බෝධීන් වහන්සේටමැයි. කොතෙකුත් මහරහතන් වහන්සේ විසින් මහා බෝ වන්දනා කළේදැයි ගණනින් කිව නොහැකිය. එසේම වජිරාසන වන්දනාවේ පැමිණෙන ධර්මධර, විනයධර සුපේෂල භික්ෂු භික්ෂුණියන් සැදැහැවතුන් රැය පහන් වනතුරු මහා බෝ සෙවනේ ධර්ම සාකච්ඡා කළහ. බවුන් වැඩූහ. සසර ගමන නිවා සැනසුනහ.
ජය ශ්‍රීමහා බෝධින් වහන්සේට වසර තුන්සිය වන විට
භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසු ධර්මාශෝක රජුගේ කාලය එනතෙක් බෝධින් වහන්සේ පිළිබඳව විශේෂ විස්තරයක් හමුනොවේ. නමුත් බෝධින් වහන්සේ නිරුපද්‍රිතව බොහෝ දෙනාගෙන් වැඳුම් පිදුම් ලබමින් විරාජමානව වැඩ සිටි බවනම් පැහැදිලි යි. බිම්බිසාර රජුගෙන් පසුව පියා මරා රජ වූ අජාසත්ගෙන් පසුව රජ වූ සියලු දෙනා පිතෘ ඝතක රජවරු විය. එහිදී රට වැසියන් කෝප වී මේ පිතෘ ඝාතක රජ පරපුර පන්නා දමා ඇමැතියෙක් රජු බවට පත් කෙළේය. ඒ ක්‍රමයෙන් මේ පාඨලිපුත්‍රයේ “නන්ද” නමැති රාජ පරම්පරාවක් බිහිවුණි. ඔවුන්ගේ අන්තිමයා වූ “ධනානන්ද” රජුගේ ධන ලෝභයත්, කාමුකත්වයත්, රටවැසියන් පෙලීමත් නිසා තක්ෂිලාවේ චානක්‍යය බ්‍රාහ්මණ ආචාර්යවරයා ධනානන්ද වනසා චන්ද්‍රගුප්ත කියන මෞර්ය කුමාරයා රජ බවට පත් කළේය. මේ මෞර්ය වංශය විඩූඩභ ශාක්‍යය ඝාතනයෙන් පැනගිය ශාක්‍යය පරපුරෙන් පැවත එන්නෙකි. පසු කලකදී ඒ චන්ද්‍රගුප්ත රජුගේ පුතා බිංදුසාර රජ වූයේය. ඔහුගේ පුතුන් සියලු දෙනා අතරින් අශෝක කුමරු සහෝදරයන් ඝාතනය කොට චණ්ඩාශෝක ලෙස ප්‍රසිද්ධ වෙමින් රජ විය. ඔහු ශාන්ත රජෙකු කළේ නිග්‍රෝධ සාමණේර රහතන් වහන්සේ විසිනි. ගෞතම සසුනේ හිතැති ශ්‍රාවකයෙක් වූ ධර්මාශෝක රජතුමා මොග්ගලිපුත්තතිස්ස මහරහතන් වහන්සේ ඇසුරින් බණ දහම් ඉගෙන මුළු දඹදිවම බුද්ධ භූමිය ලෙස නැවත නඟා සිටුවන ලදී.
ධර්මාශෝක රජුගේ සෙනෙහස ලැබූ බෝධින් වහන්සේ
මහා ධාතු නිධානය උගුල්වා ද්‍රෝණ හතක ධාතුන් වහන්සේ දැක බලා ධාතු නිධන් කොට අසූහාරදහසක වෙහෙර විහාර කළ ධර්මාශෝක රජු විසින් තමාට වන්දනා කිරීමට පාත්‍රා ධාතුවේ සර්වඥ ධාතු පුරවා තබා ගත් අතර, රජ මාළිගයේ උතුම් ධාතු මන්දිරයේ නොයෙක් උපහාර පූජා පවත්වන ලදී. නමුත් රජු වඩාත් සමීප වූයේ බෝධින් වහන්සේ වෙතටය. නිතර නිතර දෙවේලේ බෝධින් වහන්සේට වන්දනා කළේය. මහත් බෝධි උපහාර පූජා පවත්වන්නට යෙදුණි. සිය අතින්ම උපස්ථාන කළේය. මහා පිරිස් පිරිවරා බෝධි උපහාර පූජා පැවැත්වීය. මේ ගැන සාංචියේ කැටයම් අධ්‍යයනය කරන කෙනෙකුට මනාව වටහා ගන්නට පිළිවන. මහා පිරිස් පිරිවරා බෝධි මණ්ඩලයට ධර්මාශෝක රජු පැමිණෙන ආකාරය ඒ කැටයම්වල මූර්තිමත් කර ඇත.
මහින්දාගමනයත්, දක්ෂිණ ශ්‍රී බෝධි ශාඛාව වැඩමවීමත්, මහා බෝ පෙළහරත්, විශ්මිතය. බෝධි උපහාර පූජාව ඇතුළු විස්තර අප ඉදිරියේදී ඉගෙන ගන්නෙමු. මහා බෝ අනුහසින් ඔබට සෙත් වේවා.
කාලිංග බෝධි ජාතකය
මහා ප්‍රාතිහාර්ය සිදු වූ ආනන්ද බෝධි රෝපණය පිළිබඳව දැන් ඔබ දැනුම්වත්. අද අප කථා කරන්නේ ආනන්ද ස්වාමින් වහන්සේගේ පෙර ජීවිත කථාව ඇතුළත් “කාලිංග බෝධි ජාතකය” යි . එයට පසුබිමත් ආනන්ද බෝධින් වහන්සේ මැ ය.
අපගේ ආනන්ද මහ තෙරුන් වහන්සේ රජවරු, සිටුවරු, සැදැහැවතුන් සමඟ එකතුව බෝධින් වහන්සේට නොයෙකුත් උපහාර පුද පූජාවන් කරන්නට යෙදුණි. බුද්ධ උපස්ථානයෙන් පසු ඉඩ ලද සෑම විටකම ආනන්දයන් වහන්සේ බෝධින් වහන්සේ ඇසුරු කළ සේක. අතුපතු ගාමින් වත් කළ සේක. සක්මන් කරමින්ද, ඉඳගෙනද බෝ සෙවනේම බවුන් වැඩූ සේක.
මොකද? මේ ආනන්දයන් වහන්සේ බෝධිය අසලම
ඉතින් සංඝයා අතර කථාවක් ඇතිවුණි. එනම් “හරි පුදුමයි නෙව. ආයුෂ්මතුනි, මේ ආනන්දයන් බෝධින් වහන්සේට හරි සෙනෙහෙවන්තයි නෙව. බොහෝ වත් පිළිවෙතින් බෝධින් වහන්සේට පූජාවන් පවත්වනවා නෙව, ආනන්දයන් වහන්සේ හරි ගුණ ගරුකයි නෙව” කියමින් සංඝයා දම්සභාවේ කථා කරමින් සිටි අවස්ථාවේ භාග්‍යවතුන් වහන්සේ ඒ ස්ථානයට වැඩම කළ සේක. මෙහිදී භාග්‍යවතුන් වහන්සේ “පින්වත් මහණෙනි, අපගේ මේ ආනන්දයන් මේ ජීවිතයේ දී පමණක් නොවේ මීට කලින් ජීවිතවලත් බොහෝ පිරිවර සමඟ නොයෙක් බෝධි උපහාර පවත්වා තිබේ” යනුවෙන් වදාළ සේක. ඒ භික්ෂුන්ගේ ආරාධනය අනුව අතීතයේ අපූරු බෝධි උපහාර කතාවක් භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
කාලිංග බෝධි ජාතකය
අතීතයේ කලිඟුරට දන්ත පුරයේ කාලිංග නමින් රජෙක් විය. ඒ රජුගේ මහා කාලිංග, චූල කාලිංග නමින් පුත්‍රයන් දෙදෙනෙක් වූ අතර, නේමිත්ත පාඨකයෝ කියා සිටියේ චූල කාලිංග කුමරුගේ පුතෙකු සක්විති වන බවයි. පිය රජුගෙන් පසු රාජ්‍ය හිමිවුණේ මහා කාංලිග කුමාරයාට ය. නමුත් තමාගේ පුතෙකු සක්විති වන බව කියමින් චූල කාලිංග යුව රජු මාන්නෙන් සිටි හෙයින්, මහා කාලිංග රජු ඔහුුව සිර කරන්න යැයි නියෝග කළේය. චූල කාලිංග කුමරා පැන ගොස් වනයේ ආරාමයක් තනවා තාපස වේසයෙන් සැඟව සිටියේය.
මේ අතර මධුරට සාගල නුවර රජුගේ දියණියට උපදින පුතෙකු සක්විති වන බව නේමිත්ත පාඨකයෝ කියා සිටි හෙයින් අවට රාජ්‍යය වලින් ඇය විවාහ කරන්නට රාජ කුමාරවරු පැමිණ යුද්ධයකට සූදානම් විය. මේ අතර රජ යුවළ දියණියත් රැගෙන මාළිගාවෙන් පැනගොස් ඉහත කී වනයේම තාපස වෙස්ගෙන සැඟව සිටියහ. පසු කාලයේ වනය තුළදීම චූලකාලිංග කුමරා මධුරාවේ කුමරියන් මුණ ගැසී රාජ නම්ගොත් කතාකොට මාපිය අවසරයෙන් විවාහ වී වනයේම වාසය කළේය. ඔවුන්ට උපන් කුමරා “කාලිංග” නම් වූ අතර, ශරීරයේ මහා පුරුෂ ලක්ෂණ තිබිණ. පසුකාලයේ මහා කාලිංග රජු මියගිය පසු වනයේ ජීවත් වූ “කාලිංග” කුමරාට රජකම හිමි විය. ඒ රාජයේ “කාලිංග භාරද්වාජ” නමින් රාජ පුරෝහිතයෙක් වාසය කළේය. ඒ පුරෝහිතයාගේ මඟ පෙන්වීමෙන් දස සක්වත පිරු පසු පහළවන “සක්විති චක්‍ර රත්නයෙන්” සියලු පෘථිවියටම එකම රජු ලෙස කාලිංග සක්විති රජතුමා ධර්මයෙන්ම අභිෂේක ලැබීය. ඒ සක්විති රජ කුªමරාට හත්ථි රත්නය, අශ්ව රත්නය, පරිනායක (පුත්‍ර) රත්නය, පුරෝහිත රත්නය, ඉත්ථි (ස්ත්‍රී) රත්නය, මණි රත්නය හා මුලින් කී චක්‍ර රත්නය වශයෙන් සප්්ත රතන පහළ වූහ.
බුදුවරු නැති කාලවලදී බෝධි භූමිය
දිනක් තාපස වේෂයෙන් සිටින තම දෙමාපියන් බැලීමට “කාලිංග” සක්විති රජතුමා අහසින් පිරිවර සමඟ යන අතරේ දී එක් තැනක අහසේම හස්ථියා නතර විය. අන් කිසිම දිනක එවැන්නක් සිදු වී නැත. නො පෙනෙන, නොදන්නා කාරණා විෂයෙහි දක්ෂ කාලිංග භාරද්වාජ පුරෝහිත රත්නය මේ ගැන විමසා බලා “මේ භූමිය සියලු බුදුවරු සර්වඥතා ඥානය ලබන බෝධි භූමිය බවත්, ශක්‍ර දේවේන්ද්‍රයාටවත් මේ භූමිය උඩින් යා නොහැකි බවත්” දැන ඒ විස්තර කාලිංග රජුට පවසා සිටියේ ය.
මහරජතුමනි, මේ භූමිය පෘථිවියේ නිශ්චල භූමිය යි. සියලු ලොව අවබෝධ කොටගෙන නිකෙලෙස්වන සර්වඥයන් වහන්සේ පහළ වන්නේ මෙ තැනය. සියලු කෙලෙස් නසන්නේ මෙතැන ය. මේ අතිශයින් පාරිශුද්ධ පුණ්‍ය භූමිය යි. රජතුමනි, ආකාශයෙන් බසින සේක්වා. මේ පින්බිමට වන්දනා කරන සේක්වා. රජතුමනි, ඔය ඇතුට නොව සියලු ඇත් රජවරුන්ට වජ්‍රමය අංකුසයෙන් ඇන්නත් මේ භූමියට ඉහළින් යා නො හැක්කේ ම ය. රජතුමා පුරෝහිතයාගේ කතාව පරීක්ෂා කිරීමට අංකුසයෙන් අනිමින් ඇතු වෙහෙස කළත් යා නොහැකි විය. සක්විත් රජුගේ ක්‍රියාවෙන් දුකට පත්වූ සුදු හස්තියා එවලෙහිම අහසේම මිය ගියේය. රජුගේ පින් බලයෙන් තවත් සුදු හස්තියෙක් පැමිණියේ ය.
බුදුගුණ අසා සක්විති රජු පැහැදෙනවා
මේ ආශ්චර්යය සිද්ධිය දුටු කාලිංග සක්විති රජු අහසින් බැස ඒ උතුම් භූමිය ගැන තව තවත් විස්තර විමසීය. ඒ මොහොතේ දිවැස් ඇති කාලිංග භාරද්වාජ පුරෝහිතයාගේ බුදුගුණ වැනුම අසා රජතුමා ඉමහත් සතුටට පැමියේ ය. ඒ කාලිංග බෝධි රජතුමා උතුම් බුද්ධ භූමිය, බෝධි භූමිය සුදුවැලි ඇතිරි ඇති සැටිත්, එකම තෘණ ශාඛයක් හෝ හට නොගෙන ඇති සැටිත්, අවට වෘක්ෂයන්ගේ ශාඛා දක්ෂිණාර්ථව වන්දනා කරන අයුරින් කරකැවී ඇති සැටිත් දැක තවත් පුදුමයට පත්විය.
කාලිංග රජුගේ බෝධි පූජාව
කාලිංග චක්‍රවර්ති රජතුමා මහත් වූ සේනාව ලවා බෝධි භූමියත්, ඒ අවට සෑම ස්ථානයක් ම සරසා සුවඳින්, මලින්, පහනින්, ධජ පතාකවලින් තව තවත් සරසවා බෝධි භූමියේ සඳුන් කුඩු ඇතිරවීය. පංචතූර්ය නාදයෙන් ශබ්ද පූජා පැවැත්විය. නැටුම් ගැයුම් පූජා පිණිස යෙදවීය. මෙලෙස සතියක් නොයෙක් බෝධි පූජාවන් පවත්වා තනි රත්තරනින් දහඅට රියන් රන් කණුවක් බෝධි භූමියේ තබවා සත් රුවන් වැලි අතුරා, රන්, රිදී, මුතු, මැණිකෙන් අලංකාර ප්‍රාකාරයක් බඳවා, මනරම් ද්වාර තොරන් ආදිය බඳවා උපහාර පූජා කළේය. එදා පටන් සෑම දිනකම සැට අමුණක මල්වලින් බෝධි භූමියට පුෂ්ප පූජා පැවැත්වීය. මෙසේ දිවි තිබෙන තුරු මහත් වූ බෝධි පූජාවන් සිදුකළ සක්විති රජු මියගොස් තාවතිංස දෙව් ලොව උපන්නේය.
ඒ කාලයේ සක්විති රජු ආනන්දයන් වහන්සේයි
ඉතින් භාග්‍යවතුන් වහන්සේ වදාළා “පින්වත් මහණෙනි, ඒ සා මහත් බෝධි උපහාර කළ සක්විති රජතුමා මේ අපේ ආනන්දයන්. සසර පුරුද්දටයි බොහෝ පිරිස් පිරිවරා මේ ජීවිතයේදීත් බෝධි උපහාර කරන්නේ. ඒ කාලේ ඒ සක්විති රජුට උපදෙස් ලබාදුන් කාලිංග භාරද්වාජ පුරෝහිතයාණන් තමන් වහන්සේ බව භාග්‍යවතුන් වහන්සේ හෙළිකොට වදාළා. එසේනම් සසරේ හැටි මෙනෙහි කරන්න. මේ ජාතක කතාව අනුව ආනන්දයන් වහන්සේ සක්විති රජවෙන විට පුරෝහිතයා වූයේ බෝධි සත්ත්වයන් වහන්සේ යි.
මෙපමණක් වර්ණනා කළේ බෝධි භූමියට උපහාර කළ සිද්ධියක් පිළිබඳවය. අද වැඩ සිටින ජීවමාන බෝධින් වහන්සේට පූජාවන් පැවැත් වූවොත් කෙතරම් පිනක් රැස් වෙන්නේ ද? කියා නුවණින් විමසන්න.
අදවන විට ආනන්ද බෝධින් වහන්සේ
අදට වසර 2600 කට ආසන්න පුරාණ බෝධීන් වහන්සේ වැඩ සිටිති. වර්තමානයේ සැවැත්නුවර ජේතවනාරාමයට ඇතුළු වීමේ දොරටුව ඇත්තේ බෝධින් වහන්සේගේ පැත්තෙන් නොවේ. ඒ විහාර භූමි වෙනස් වී ඇත. නමුත් ආනන්ද බෝධින් වහන්සේ හොඳින් වන්දනා කර ගැනීමට බාධාවක් නැත. සැවැත්නුවර ආනන්ද බෝධින් වහන්සේගේ බීජ වලින් අපේ රටෙත් බෝධීන් වහන්සේ නොයෙක් ප්‍රදේශවල රෝපණය වී ඇත. ඒ බෝධීන් වහන්සේ සුවසේ වන්දනා කරගෙන සැදැහැ සිතින් බෝධි උපහාර පූජාවන් පවත්වා සුගතිය, සැපය පිණිස පින් රැස්කර ගැනීම ඔබ සතු ගුණාංගයකි.
- නයනා නිල්මිණි