අනුරාධපුර මහා විහාරය පෙරදිග ලෝකයේ පැවති ශ්‍රේෂ්ඨ අධ්‍යාපන ආයතනයක් වූ අතර එහි මහා සංඝරත්නය භාෂා ශාස්ත්‍ර පිළිබඳ ප්‍රවීණ විචක්ෂණ බුද්ධියෙන් සම්පූර්ණ වූ බැවින් ථේරවාදී බුද්ධාගම ලංකාවට හඳුන්වාදීමේ දී ප්‍රධාන සිද්ධීන් හෙළ බසින් වාර්තා කොට ඒවා විශේෂ ග්‍රන්ථ වශයෙන් මහා විහාර පුස්තකාලයේ තැන්පත් කොට පැවතුනි. හෙලුබෝවස, පසුකාලීනව පාලි භාෂාව ජාත්‍යන්තරව දියුණු වූ බැවින් පාලි භාෂාවට පරිවර්තනය කිරීමෙන් පාලි බෝධි වංශය නිර්මාණය විය.

ශ්‍රී මහා බෝධි පුරාණයට ඌණ පූරණයක්

අනුරාධපුර ස්වර්ණමාලි මහා චෛත්‍යරාමාධිපති 
නුවරකලාවියේ ප්‍රධාන සංඝ නායක
පල්ලේගම හේමරතන නා හිමි

පසුගිය සැප්තැම්බර් 16,ඔක්තෝබර් 15 සහ 30 යන දිනවල පළ වූ “බුදුසරණ” පුවත්පත්වල “ශ්‍රී මහා බෝධි පූරාණය” නම් වූ ලිපි පෙළක් කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ නමින් පළ වී තිබුණි. උන්වහන්සේගේ යථෝක්ත ලිපි පෙළේ ඇතැම් තැනෙක සාවද්‍ය තොරතුරු ඇතුළත් වී තිබෙන බව අපගේ හැඟීමයි.
පළමුකොටම කිවයුතු වන්නේ,අති පූජනීය ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ පිළිබඳ බෞද්ධ ග්‍රන්ථවල ඉතා වැදගත් තොරතුරු රාශියක්ම අන්තර්ගතව තිබෙන බවයි. ඒවා නිවැරැදිව අධ්‍යයනය කිරීමෙන් බෝධින් වහන්සේගේ අති පූජනීයත්වය අපට මැනවින් අවබෝධ කරගත හැකිය.
දෙවැනිව, මේ අති පූජනීය බෝධින් වහන්සේ දඹදිව බුද්ධගයාවේ සිට වැඩම කරවා, අනුරාධපුර මහමෙවුනාවේ රෝපණය කිරීමේ සිට වර්තමානය දක්වා වූ ඉතිහාසය ඉතා පැහැදිලිව ලෝකය හමුවේ විද්‍යමාන වන බව දත යුතුය. මහාවංශය, බෝධිවංශය ආදි වංශකතා ඇතුළු ග්‍රන්ථවල මෙන්ම, දඹදිව සාංචි ස්ථූපයේ සිට ඉතා මෑතක දී අනුරාධපුර මහමෙවුනාවේ සිදුකළ පුරාවිද්‍යා ගවේෂණ ආදිය ඊට නිදසුන් වේ. එබැවින්, මෙම ඓතිහාසික සහ ආගමික සාධක නොසලකා හරිමින් හෝ විකෘති කරමින් දැක්වීම කවර බෞද්ධයෙකුටවත් තරම් නොවන බව කිවයුතු නැත.ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මය සහ ඉතිහාසය කිසිවෙකුටත් වෙනස් කළ හැකි නොවේ.
බුද්ධාංකුර වූ සිද්ධාර්ථ ගෞතම තවුසාණන් සිය සංසාර ගමන නිමා කරමින් ලොව්තුරා බුද්ධත්වය අවබෝධ කර ගත්තේ දඹදිව, බුද්ධගයාවේ, නේරංජනා ගඟබඩ පිහිටි ඇසතු වෘක්ෂය සෙවණේ ඊට පිට දී වැඩ හිඳිමිනි. බුද්ධත්වය, සර්වඥතාඥානය , ආර්ය සත්‍යඥානය වැනි නම්වලින් මිනිස් මනසක ඉතා පරිණත අවස්ථාව හෙවත්, මානව බුද්ධි විකාශයේ අතිශයින් ඉහළම අවස්ථාව හැඳින්වෙන බවත්, බෝධි යනුවෙන් එය නිරූපණය කෙරෙන බවත්, ආචාර්ය වැලමිටියාවේ ධම්මරක්ඛිත හිමියෝ (1994) පෙන්වා දෙති. බෝධි යනු සිව්සස් දක්නා නුවණ බවත් එය ලබාගැනීමට උපකාරී වූ වෘක්ෂය බෝධි යන්නෙන් ගම්‍ය වන බවත්, බෝධිවංශ ග්‍රන්ථ විවරණයේ සදහන් වේ. මෙයින් පෙනී යන්නේ බුදුරජාණන් වහන්සේ ලොව්තුරා බුද්ධත්වයට පත්වන මොහොතේ පිට දී වැඩසිටි ඇසතු වෘක්ෂය, එතැන් සිට බෝධි යන අති පූජනීය ගෞරව නාමයෙන් හඳුන්වා තිබෙන බවයි.
ජේතවනාරාමයේ ආනන්ද බෝධි රෝපණයේදි බෝධින් වහන්සේ තමන් වහන්සේගේ නිබද්ධ වාසයක් බව බුදුරජාණන් වහන්සේම වදාළ බව ජාතකට්ඨ කථාවේ සඳහන් වන “ආනන්දයෙනි බුදුන් වහන්සේ විසින් ප්‍රයෝජන විඳිනා ලද බෝධිය වනාහි ඒ සර්වඥයින් විද්‍යමාන කල්හිදු චෛත්‍යයම වෙයි.” යනුවෙන් සිංහල බෝධිවංශයේ ඒ වග දැක්වේ. එබැවින් ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ යනු ජීවමාන බුදුරජාණන් වහන්සේ හා සමාන අති පූජනීය වස්තුවකි. එය කොතෙක් ද යන්න බෝමළුවකට ඇතුළු වන භික්ෂුව බුදුරජාණන් වහන්සේ ඉදිරිපිට දී මෙන් සංවරශීලි ඉරියව් පැවැත්විය යුතු බවට සම්මෝහ විනෝදනීය කරන නිර්දේශයෙන් ද තහවුරු වේ. එය කොතරම් ප්‍රබල පිළිගැනීමක් වීද යත්, “බෝධි ස්ථූපවලට හානියක් කිරීම ආනන්තරිය පාප කර්මයට සමාන වන බව ‘මනෝරථපූරණියේ දක්වා තිබීමෙන් පැහැදිලි වේ.
එබැවින් ජය ශී‍්‍ර මහා බෝධින් වහන්සේ පිළිබඳ ලියන හෝ කියන හෝ වචනය පවා ඉතා වගකීමෙන් සහ අවිචාරශීලි අමූලිකා ශ්‍රද්ධාවෙන් නොව, විචාරශීලි වූ ආකාරවති ශ්‍රද්ධාවෙන් කළ යුතුය.
එවන් වූ අති පූජනීය බුද්ධගයාවේ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ශ්‍රී ලංකාද්වීපයට ලැබෙන්නේ, අනුලා දේවිය ප්‍රධාන ස්ත්‍රීන්ට පැවිද්ද ලබා ගැනීම පිණිස කෙරුණු සංඝමිත්තා මහ රහත් තෙරණින් වහන්සේගේ ආගමනය හේතුවෙනි. ඤාණානන්ද හිමියන් සිය ලිපියෙන් එය දක්වා ඇත්තේ මේ ආකාරයටය.
අනුලා දේවිය ඇය සමඟ පිරිවර කන්‍යාවන් පන්සිය දෙනාත්, ඒ වාගේම අන්තඞපුර ස්ත්‍රින් පන්සිය දෙනෙකුත් දසසිල් සමාදන් විය. කසාවත් පොරවාගෙන පිරිසුදු පැවිදි බව අපේක්ෂාවෙන් ධර්ම මාර්ගය පුහුණු වෙමින් සංඝමිත්තා තෙරණින් වහන්සේගේ වැඩමවීම බලාපොරොත්තුවෙන් නගරයෙහි එක් ප්‍රදේශයක දෝළ නැමති ඇමතිගේ නිවසේ මනා වත් පිළිවෙතින් යුක්තව වාසය කළේය. ඒ දසසිල් උපාසිකාවෝ ඒ භික්ෂුණී අසපුවෙහි වාසය කළ නිසා ඒ කරුණෙන් උපාසිකා විහාරය යන නමින් එය ප්‍රසිද්ධියට පත්විය. මේ අනුව, කාන්තාවන්ට පැවිද්දක් නොමැති නමුත්, ශ්‍රමණ අනගාරිකා උපාසිකාවන් ලෙස වාසය කිරීමට අතීතයේ තොරතුරු අනුව සාක්ෂී සපයන්නේ එය වරදක් නොවන නිසාය. (බුදුසරණ 2016.09.16)
මෙම ප්‍රකාශය බරපතල සාවද්‍ය අදහස්වලින් පිරී පවතී. භික්ෂූන් වහන්සේලා මුල, මැද, අග සහිතව, නිරවුල්ව සහ පැහැදිලිව භාෂාව භාවිත කරමින් දහම් දෙසිය යුතු බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් බව අපි දනිමු. එසේ වුවද, උක්ත ප්‍රකාශයේ ව්‍යාකරණ වැරදිය. අදහස් පැටලිලි සහිතය. එය පසෙක තිබියේවා, සැබෑ බොදුනුවන්ගේ යහපත පිණිස මෙම ප්‍රකාශයේ ඇතුළත් සාවද්‍ය අදහස් විමසීම කළ යුතුව තිබේ. වංශකතාවලට අනුව,අනුලාව ඇතුළු ස්ත්‍රීහු ඒ වන විටත් නිර්වාණගාමී මාර්ගයේ දෙවැනි පියවර වූ සාකෘදාගාමී ඵලයට පත් උත්තමාව වී සිටියහ. ‘ස්ථවිරයන් වඳනා පිණිස ආවා වු අනුලා දේවි තොමෝ පන්සියයක් ස්ත්‍රීන් හා සාකෘදාගාමී ඵලයට පත් වූහ. (මහාවංශය, පරි 15, ගාථා 18-19) යන්නෙන් එය පැහැදිලි වේ. සිංහල බෝධිවංශයේ දුමින්දාගමන කථා ආරම්භ කෙරෙන්නේ අනුලාව ඇතුළු ස්ත්‍රීන් සකෘදාගාමී ඵලයට පත්වීමේ පුවතිනි.
එබැවින්, අනුලා බිසව ඇතුළු ස්ත්‍රීන් පැවිදි වීම සඳහා සංඝමිත්තා මහ රහත් තෙරණින් වහන්සේගේ ආගමනය අපේක්ෂාවෙන් දසසිල් සමාදන්ව මෙහෙණවරක හිඳීම, වර්තමානයේ ඇතැම් ස්ථානවල තරුණ ස්ත්‍රීන් අනගාරිකා උපාසිකාවන් ලෙස වාසය කිරීම වරදක් නොවන බවටත්, එය අතීතයේ සිට පැවති සිරිතක් බවටත් සාක්සි ලෙස දැක්වීමට කරන මෙම උත්සාහය ඉතා දුර්වල,අසත්‍ය කනගාටුදායක එකකි. මක්නිසාද යත්, සකෘදාගාමී ඵලයට පත්ව සිටි අනුලා බිසව ඇතුළු ස්ත්‍රීන්ගේ අභිප්‍රාය කෙතරම් උතුම් සහ ප්‍රායෝගික එකක් වී තිබුණේද යන්න වංශකතාවලින් ඉතා පැහැදිලි වන බැවිනි. මේ ශ්‍රේෂ්ඨ උත්තමාවන් පැවිදි වී නොබෝ කලකින්ම උතුම් වූ අර්හත් ඵලය ලබා ගනිමින් සසරින් එතෙර වූ බව වංශකතාවල සඳහන් වී තිබේ. වර්තමාන ශ්‍රී ලංකාවේ භික්ෂුණී ශාසනය නැත. දසසිල් සමාදන් වු සිල්වත් සිල්මාතාවෝ සිටිති. එසේ වුවද වසර දෙදහස් තුන්සියයකට වැඩි ශ්‍රී ලාංකික බෞද්ධ සංස්කෘතිය තුළ අනගාරිකාවන් සිටි බවක් නම් ඉතිහාසයේ කොතැනකවත් නැත.
අනුලා බිසව ඇතුළු ස්ත්‍රින් පැවිදි බව අපේක්ෂාවෙන් ‘දෝළ’ නමැති ඇමතිගේ නිවසේ වාසය කළ බව පැවසීම මේ ලිපියේ ඇති තවත් ඉතා බරපතල සාවද්‍ය ප්‍රකාශයකි. මහාවංශයේ එය සඳහන් වන්නේ නුවර එක් පෙදෙසෙක් හි නරනිඳුහු විසින් කරවන ලද සිත්කලු මෙහෙණ අසපුවෙක් හි යහපත් වෘත ඇතිව වාසය කළාය. (පරි. 18,ගාථා 10-13) යනුවෙනි. අනුලා දේවීන්ද පන්සීයක් අන්තඞපුර ස්ත්‍රින් හා පන්සීයක් පුරවමියන් හා සමඟ දසසිල් සමාදන්වැ කෂාය වස්ත්‍රධාරවැ මහණවනු කැමතිවැ ස්ථවිරාවන්ගේ ඊම අපේක්ෂා කරමින් නුවරට එක් දෙසකැ මෙහෙණවරක් කරවා වාසය කරන්නීයැ. යනුවෙන් සිංහල බෝධිවංශයේද එය සඳහන් වේ. උතුම් ජය ශී‍්‍ර මහා බෝධින් වහන්සේ හා සම්බන්ධ මෙතරම් පැහැදිලි තොරතුරු විකෘති කිරීම පිළිබඳ බුද්ධිමත් පාඨකයෝ විචාරශීලිව විමසිය යුතු වේ.
මෙරට භික්ෂුණී ශාසනය ආරම්භ වී නොතිබුණ මොහොතක ඒ දසසිල් උපාසිකාවෝ භික්ෂුණි අසපුවෙහි වාසය කළ නිසා යනුවෙන් ඤාණානන්ද හිමියන් කරන සඳහන මුළුමනින්ම අර්ථ විරහිත එකකි. පසු කාලීනව සංඝමිත්තා මහ රහත් තෙරණින් වහන්සේ ප්‍රධාන අනුලා මහ රහත් තෙරණින් වහන්සේ ඇතුළු භික්ෂුණින් වහන්සේලා වැඩ විසූ හත්ථාළ්හක මෙහෙණවර නමින් ප්‍රකට වු මෙම ආරාමයේ නටබුන් සමහරක් ථූපාරාම දාගැබ අවටින් මතුකර ගැනීමට පුරාවිද්‍යාඥයින් සමත් වී තිබේ. ඒ අතරින් පැහැදිලිව හඳුනාගත හැකි එම මෙහෙණවරේ පොහොය ගෙය සහ පිරිනිවන් පා වදාළ සංඝමිත්තා මහ රහත් තෙරණින් වහන්සේගේ ශී‍්‍ර දේහය ආදාහනය කළ ස්ථානයේ උත්තිය රජතුමා ඉදිකළ සංඝමිත්තා චේතිය මෙම බෝධි ඉතිහාසය යළි ජීවමාන කරවන පුරාවිද්‍යාත්මක සාධක වේ.
ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ ශ්‍රී ලංකාද්වීපයට වැඩම කරවන අයුරු දේවානම්පියතිස්ස රජතුමා දැකගත් ආකාරය ඤාණානන්ද හිමියන් සිය ලිපියේ සදහන් කරන්නේ මේ ආකාරයෙනි.
‘මේ කටයුතු මෙසේ සිදුකළේ සුමන සාමණේර මහරහතන් වහන්සේ බෝධින් වහන්සේ වඩින විස්තරය රජුට ඒ ඒ මොහොතේ දැක්වු නිසාවෙනි.
‘සමුද්‍රාසන ශාලාව පිහිටි ස්ථානයෙහි වූ ශාලාවක සිටි රජුන් මිහිඳු මහරහතන් වහන්සේගේ ඍද්ධි බලයේ මහිමයෙන් මහසයුරින් වැඩමවන ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ දැක බලා ගත්තේය. මිහිඳු මහරහතන් වහන්සේ මුහුදේ සිදුවන අහසේ පෙනෙන ආකාරයට ඍද්ධි කළේය. (බුදුසරණ 2016.10.15) එකිනෙකට පරස්පර වු මේ කියමන් දෙක, ජය ශ්‍රී මහා බෝධි ආගමනය රජතුමාට දැක්වූයේ සුමන සාමණේරයන් වහන්සේද, මිහිදු මහරහතන් වහන්සේද, යන්න පිළිබඳ පාඨකයා ගැටලු සහගත තත්තවයකට පත් කරයි. එසේ වුවද වංශකතාවල මෙම සිදුවීම ඉතා පැහැදිලිව සහ නිරවුල්ව සදහන් වී තිබේ.
මුහුද අසල සාලාවෙක ස්ථානයෙහි සිට මහමුහුද වඩනා මහා බෝධිය මහ තෙරණුවන්ගේ ඍද්ධිය කරණ කොටගෙන දුටුයේය. (මහාවංශය, පරි, 19,ගාථා 25-26)
උතුරු දොරටු සමීපයෙහි සමුද්‍රශාලා වස්තුවෙහි සිටැ මහා සමුද්‍රයෙහි ඒ මහත් වූ ශී‍්‍ර විභූතින් වඩනා වූ මහා බෝධින් වහන්සේ මිහිඳු මහ තෙරුන් වහන්සේගේ ආනුභාවයෙන් දැකැ සතුටු සිත් ඇතිවැ (සිංහල බෝධිවංශය)
එමෙන්ම මේ කිසිම වංශකතාවක ජය ශ්‍රී මහා බෝධි ආගමනය අහසේ පෙනෙන ආකාරයට ඍද්ධි කළ වගක් සදහන් නොවේ.
මෙම ලිපි පෙලෙහි දැකගත හැකි තවත් සඳහනක් මෙසේය.
“හෙළ බස කතා කළ ගමේ ගොඩේ වතුපිටි සමඟ ජීවිතය ගත කළ අය බුදු බණ අසමින් ගෞතම සසුනේ පැවිදිව අර්හත්වයට පත් වුණි. සිංහලෙන් බුදු බණ දේශනා කළේය. පිනැති හෙළ පුතුන් පැවිදිව මුනිවරුන් අතරට එක් වුණි. ”(බුදුසරණ 2016.10.30)
අප දන්නා ඉතිහාසය අනුව නම්, මෙරට පහළ වූ එකම මහරහතන් වහන්සේ නමක් හෝ මුනිවරයෙකු වී නැත. ගෞතම බුදුරජාණන් වහන්සේට මුනි යන නාමය භාවිත කෙරෙන්නේ උන්වහන්සේ තමන් විසින්ම ධර්මය අවබෝධ කරගත් බැවිනි. රහතන් වහන්සේලා යනු බුදුරජාණන් වහන්සේ හෙළි කළ ධර්ම මාර්ගයේ යමින් නිවන සාක්ෂාත් කරගත් උතුමෝ වෙති. එවන් උතුමන් වහන්සේලා මුනිවරයන් ලෙස හැඳින්වීම ලොව්තුරා බුදුරජාණන් වහන්සේට මෙන්ම එම රහතන් වහන්සේලාටද කරන නිගරුවකි.
“ ඒ භික්ෂුණීහු සංඝමිත්තාවන් පෙරටුකොට සිටි අතර, මිහිඳු මහරහතන් වහන්සේ භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා හට මැනවින් චතුරාර්ය සත්‍ය දේශනා කරමින් වැඩ සිටියේ බුදු කෙනෙකු ලෙසය. ”(බදුසරණ 2016.10.30)
මෙහි මිහිඳු මහරහතන් වහන්සේ බුදුකෙනෙකු ලෙස දැක්වීම උන්වහන්සේට කෙරෙන ගෞරවයකට වඩා අගෞරවයකි.
ශ්‍රී ලංකාවේ ඉතිහාසය වෙනස් කළ ඉතා වැදගත් ඓතිහාසික සිදුවීමක් වූ දුමින්දාගමනය පිළිබඳ සැදැහැවතුන්ට සිහිපත් කර දීම ඉතා යහපත් ක්‍රියාවකි. එහෙත් එය කළ යුත්තේ අති පූජනීය වූ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ පිළිබඳ සහ එකී ඓතිහාසික සිදුවීම පිළිබඳ මනා අවබෝධයකින් යුක්තව, නිවැරදි සාධක මත පිහිටීමෙනි.