අනුරාධපුර මහා විහාරය පෙරදිග ලෝකයේ පැවති ශ්‍රේෂ්ඨ අධ්‍යාපන ආයතනයක් වූ අතර එහි මහා සංඝරත්නය භාෂා ශාස්ත්‍ර පිළිබඳ ප්‍රවීණ විචක්ෂණ බුද්ධියෙන් සම්පූර්ණ වූ බැවින් ථේරවාදී බුද්ධාගම ලංකාවට හඳුන්වාදීමේ දී ප්‍රධාන සිද්ධීන් හෙළ බසින් වාර්තා කොට ඒවා විශේෂ ග්‍රන්ථ වශයෙන් මහා විහාර පුස්තකාලයේ තැන්පත් කොට පැවතුනි. හෙලුබෝවස, පසුකාලීනව පාලි භාෂාව ජාත්‍යන්තරව දියුණු වූ බැවින් පාලි භාෂාවට පරිවර්තනය කිරීමෙන් පාලි බෝධි වංශය නිර්මාණය විය.

ශ්‍රී මහා බෝධින් වහන්සේ 2


එදත් අදත් විරාජමානව වැඩ සිටින ශ්‍රී මහා බෝ සමිඳුන්

පොල්ගහවෙල මහමෙවුනා 
භාවනා අසපුවේ නිර්මාතෘ

කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
බෝධීන් වහන්සේ වනාහි අපගේ බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේත්, පිරිනිවන් පෑමෙන් පසුවත් එකසේම පූජනීයත්වයට පත් වූ මහා වෘක්ෂ රජාණෝ ය. බෝධීන් වහන්සේ වැඩ සිටීද එතැන බුදුරජාණන් වහන්සේ වැඩ සිටින සේය. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑමෙන් අනතුරුව ගයාවේ උතුම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ රාජ රාජ මහා අමාත්‍යයන්ගේ පිදුම් ලබමින් විරාජමානව වැඩ සිටින්නට ඇත. නමුත් ධර්මාශෝක රජ සමය දක්වා මූලාශ්‍රවල මහා බෝධීන් වහන්සේ පිළිබඳ විස්තරයක් හමු නොවේ. මහා බෝ වංශ කතාවේ ජය ශී‍්‍ර මහා බෝධීන් වහන්සේට ඉතාමත් ආදරයෙන් උපස්ථාන කළ ධර්මාශෝක නරේන්ද්‍රයා ගැන බෞද්ධයකු හට සැළකිය යුතු දැනුමත් තිබිය යුතු වේ.

මගධයේ රාජ පරම්පරාව

සිතුවම - ආර්. එම්. බී. එන්. රත්නමලල
මගධ රාජ්‍යයේ ප්‍රධාන පාලකයා වූ බිම්බිසාර රජු මරා දමා අජාසත් රජ විය. ඒ කාලයේම බුද්ධ පරිනිර්වාණය සිදු වූයෙන් ප්‍රථම ධර්ම සංගායනාව සිදුවූයේද ඒ රාජ සමයේ ය. ඉන් අනතුරුව අජාසත් පුත් වූ උදායි භද්‍ර පියා මරා රජ වූයේය. ඉන් පසුව උදාවූයේ පීතෘ ඝාතක රාජ පරම්පරාවක්ම යි. ඉන් කිපුණු ජනයා පීතෘ ඝාතන රාජ පරම්පරා පන්නා සුසුනාග අමාත්‍යයා රජ කරවීය. ඉක්බිති රජ වූයේ කාලාශෝක රජුය. මගධයේ රාජ්‍යය පාඨලීපුත්‍රයට ගෙන ගියේ මෙතුමා ය. එතුමාගේ රජ සමයේම දෙවන ධර්ම සංගායනාවද සිදුවිය.

ධර්මාශෝකයන්ගේ පහළ වීම

කාලාශෝක රජුට පුත් කුමාරවරුන් දස දෙනෙකි. ඒ සහෝදරයන් දස දෙනා අවුරුදු විසි දෙකක් පාඨලිපුත්‍ර නගරයේ රාජ්‍ය අනුශාසනා කළේය. ඒ සහෝදර දස දෙනාගේ ඇවෑමෙන් නන්ද නමින් රජ පරම්පරාවක් බිහිවී ඔවුන්ගේ රජවරු නව දෙනෙකු ක්‍රමයෙන් රාජ්‍ය පාලනයෙහි යෙදුණි. ඔවුනුත් වසර විසි දෙකක් රජකම් කළේය.
විඩූඩභ රජු විසින් ශාක්‍යයන්ගේ පළිගැනීම පිණිස මහා ශාක්‍ය සංහාරයක් සිදු කළේය. එයින් බේරුණු ශාක්‍යවරුන් හිමාලයට පැනගොස් සිය පරම්පරාව දිගටම පවත්වාගෙන ගියේය. ඔවුන්ගේ රාජ සංකේතය වශයෙන් මොණරෙකු තබාගත් නිසාවෙන් ඔවුන්ගේ වංශය “මෞර්ය වංශය” නම් විය. ඒ මෞර්ය වංශයේ උපන් නොයෙක් ශ්‍රී සෞභාග්‍යයෙන් යුක්ත වූ “චන්ද්‍රගුප්ත” නම් කුමරු රාජ්‍යත්වය සඳහා සුදුස්සෙක් බවට පත් කරවූයේ චාණක්‍ය නම් බමුණාය.
ඒ චාණක්‍ය නම් වූ චණ්ඩ ක්‍රෝධ ගති ඇති බ්‍රාහ්මණයා මහලෝභීව සිටි නවවෙනි ධනනන්ද නම් රජුන්ගෙන් එක්තරා අවස්ථාවක නින්දා අපහාසයට පත්විය. ඒ රාජවංශය ම නැති කර අලුත් රජ පරපුරක් බිහිකිරීම පිණිස මොහු කුමන්ත්‍රණය කළේ එදා සිටය. එහි ප්‍රතිඵලයක් ලෙස චන්ද්‍රගුප්ත කුමාරයා බලවත් කළේය. ධනනන්ද රජුන් ඝාතනය කර චන්ද්‍රගුප්ත කුමාරයා මුළු දඹදිව් තලයටම රාජ්‍යානුශාසනාව පිණිස අභිෂේක කරවීය. ඒ චන්ද්‍රගුප්ත රජුන් විසි හතර අවුරුද්දක් පාඨලීපුත්‍රයෙහි රජකම් කළේය. ඔහුගේ ඇවෑමෙන් සිය පුත්‍ර වූ බිංදුසාර රජු විසි අට අවුරුද්දක් රජ වූයේය. ඒ බිංදුසාර රජුන්ට ප්‍රසිද්ධ පුත් කුමාරවරුන් එකසිය එක් දෙනෙක් සිටියේ ය. ඒ සියලු පුත් කුමාරවරුන් අතරින් අශෝක කුමාරයා පුණ්‍ය තේජසින් සහ බල සෘර්ධියෙන් යුක්ත වූයේය.
ඒ අශෝක කුමරු විවිධ මෑණිවරුන්ගෙන් ලද ඒ සොයුරු කුමාරවරුන් අනූනව දෙනෙකුව ඝාතනය කළේය. මුළු මහත් දඹදිවට තනි රජෙක් බවට පත්විය. අශෝක රජුගේ අභිෂේකයට කලින් අප භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පා වසර දෙසිය දහඅටක් ගෙවීගොස් තිබුණි. මහා යස පිරිවර ඇති අශෝක රජතුමා සතර අවුරුද්දක් දඹදිවම තනි රාජ්‍යයක් බවට පත්කර පාඨලීපුත්‍ර නගරයේදී තමන්ගේ රාජාභිෂේකය කරවීය.

ධර්මාශෝක රජුගේ විශ්මිත පුණ්‍යය මහිමය

අශෝකයන්ගේ රාජාභිෂේකයත් සමඟ ම අහසේ වගේම පොළොවෙත් යොදුනෙන් යොදුන (කිලෝ මීටර් 10ක් පමණ) ප්‍රදේශය පුරා නිරන්තරයෙන් තමන්ගේ ආඥාව පිහිටන රාජ සෘර්ධියක් ඇතිවුණි. මහාවංශයේ සඳහන් වන්නේ දෙවිවරු දිනපතා හිමාලයේ මුදුනෙහි ඇති අනෝතත්ත විලෙන් මිහිරි පැන් අට කදක් රජුට ගෙන ආ බවය. රජතුමා ඒවායෙන් කොටසක් ජනතාවටත් බෙදා දුණි. ඒ වගේම දෙවිවරු හිමාල වන ප්‍රදේශයෙන් නාගලතා නමැති දැහැටි දඬු සැමට සරිලන පරිදි ගෙන ආයේය. ඒ හිමාල වනයෙන් ම බෙහෙත් නෙල්ලි, බෙහෙත් අරළු ගෙනාවේය. ඒ වනයෙන්ම ඉතා පෙනුමැති සුවඳවත් වූ රසැති ඉදුනු අඹත්, දෙවිවරු වර්ණ සයකින් යුතු වස්ත්‍රත්, කහපාට වර්ණයෙන් යුතු අත්පිසිනා රෙදිපිළිත් ගෙනාවෝය. දිව්‍ය වූ පාන වර්ග “ඡද්දන්ත විලෙන්” ගෙනාවේය.
නාගයෝ නාග ලෝකයෙන් දිව්‍යසළු බඳු මැස්මක් නොපෙනෙන පරිදි සමන් මලින් කළ වස්ත්‍ර රැගෙන ආහ. දිව්‍ය මහනෙල් මල් රැගෙන ආහ. සුවඳ විලවුන්ද ගෙනා අතර, ගිරව් ද දිනපතා ඡද්දන්ත විලෙන් නැළි එක් ලක්ෂ අසූ දහසක් පමණ වූ ඇල්හාල් රැගෙන ආවේය. ගිරවුන් විසින් ගෙනෙන ලද පොතු සහිත වූ ඇල්හාල් නො කැඩෙන ලෙසින් පොතු ඉවත් කළේ මීයන් විසිනි. රජ පවුලේ සියල්ලන්ටම බත පිළියෙල වූයේ ඒ හාලෙනි. මී මැස්සන් වනාන්තරයෙන් පැමිණ ඉඩ ඇති තැන්වල නිතර මීවද බැන්ෙඳ්ය. අශෝක රජුන් ගේ කම්මල් වැඩ කරන තැන්වල වළස්සු ඇවිදින් යකඩවලට කුළු පහර ගැසුවේය. ඇසූ ඇසූවන් ගේ සිත් පිනවීමට සමත් මිහිරි හඬ ඇති කුරවි කොවුලන් ලෙස නම්ඇති කුරුල්ලෝ හිමාල වනයෙන් ආහ. ඔවුන් අශෝක රජුට ඇසෙන මායිමේ අතු අග හිඳ මිහිරි නාද පතුරවා තමන් නො දක්වා ම යති. අශෝක රජුන් තමන් එක කුස උපන් තමන්ගේ බාල සොහොයුරා වූ තිස්ස කුමාරයා යුවරජ ලෙස අභිෂේක කළේය. (මහාවංශයෙනි)

චණ්ඩාශෝක ධර්මාශෝක වීම

මහා යුධ සංග්‍රාමයන් ජය ගනිමින් ලක්ෂ ගණන් මිනිසුන් මරා දමමින් ලේ තැවරුණු අත් ඇතිව සිටි ඒ අශෝකයන් ඇතැමුන් චණ්ඩාශෝක ලෙස හැඳින්වීය. නමුත් ප්‍රාණඝතයෙන් වික්ෂිප්තව සිටි රජු “නිග්‍රෝධ” නම්ඇති සාමණේරයන් වහන්සේගේ ප්‍රසන්න ඉරියව් දැකීමෙන්ද, උන්වහන්සේ වදාළ ධම්මපදයේ අප්‍රමාද වර්ගයෙන් ධර්ම ශ්‍රවණය කිරීමෙන් පසු ගෞතම බුදු සසුන කෙරෙහි අතිශයින් ප්‍රසාදයට පත් විය. මහා පින්වන්ත වූ මොග්ගලිපුත්තතිස්ස මහ රහතන් වහන්සේගෙන් පිරිසුදු බුදු සසුන මනාව ඉගෙන ගන්නට ඔහුට වාසනාව උදාවිය.

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ හමුවීම

ධර්මාශෝක රජතුමා මොග්ගලිපුත්තතිස්ස මහරහතන් වහන්සේ සෘර්ධියෙන්, අනුග්‍රහයෙන් මුළු දඹදිවම බුද්ධ භූමි වන්දනා කරමින් සුවාසු දහසක් වෙහෙර විහාර කරමින් ඒ ඒ ස්ථානවල ස්මාරක පිහිටුවමින් ඓතිහාසික ශාසන මෙහෙවරක් සිදු කළහ. ඒ අතරේදී ගයාවේ නේරංජරා නදිය අසබඩ මහා බෝ රජුන් දැක ගන්නට ලැබිණ. මහා රහතන් වහන්සේ වදාළේ “මහරජ මේ අපගේ භාග්‍යවතුන් වහන්සේ උතුම් සම්බුද්ධත්වයට පත්වන මොහොතේ සෙවන සැළසු උතුම් බෝධීන් වහන්සේ”යි කියායි. නොයෙක් ආකාරයෙන් බෝධි වර්ණනාව සිදු කළහ. පෙර කිසි තැනක හට නොගත් මහා ප්‍රසාද සංවේගයක් ජීවමානව වැඩසිටින මහා බෝධින් වහන්සේ දැකීමෙන් රජුට ඇතිවිය. මහත් හරසරින්, ආදර ගෞරවයෙන් බෝධින් වහන්සේට සත්කාර කරමින් බෝධින් වහන්සේ රැක ගැනීමට කටයුතු සැලැස්වූ රජතුමා එදා පටන් නිරන්තරයෙන් බෝධි උපස්ථානයට ලොල්ව ඉතාමත් පී‍්‍රතියෙන් බෝධිපූජා පැවැත්විය. ඒ සඳහා අසත්ධිමිත්‍රා නම් බිසව රජුට සහය විය.

මිහිඳු මහ රහතන් වහන්සේගේ පහළවීම

අසූහාරදහසක් වෙහෙර විහාර ඉදිකළ රජු ශාසනයට උරුමකම් කීවේ තමාගේ පුත්‍ර මහින්ද කුමරු සහ දියණිය සංඝමිත්තාවන්ගේ පැවිදි වීමෙන් පසුවයි . ඒ දෙදෙනාම අරහත්වයට පත්වූ සේක. ශ්‍රී සම්බුද්ධ ශාසනය නමැති ගගනතලයේ මිහිඳු මහරහතන් වහන්සේ හිරු මඬල ලෙසත්, සංඝ මිත්තාවෝ සඳරේඛාව ලෙසත් අතිශය ශෝභමානව වැඩ සිටිසේක. ඒ අතරේ මොග්ගලිපුත්තතිස්ස මහරහතන් වහන්සේ මුල්වී තුන්වෙනි ධර්ම සංගායනාව පැවැත්වීය. තුන්වෙනි ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් ලෙස රටවල් නවයක ශ්‍රී සද්ධර්මය ප්‍රචාරය කරන්නට යෙදුණි. ඒ සඳහා ධර්මාශෝක රජු විශාල ලෙස කැපවීම් කළේය.

මිහින්තලාවෙන් පෑ පොසොන් සඳ

ඒ අනුව මිහිඳු මහරහතන් වහන්සේ ඉට්ඨිය, උත්තිය, සම්බල, බද්ධසාල, සුමන සාමණේරයන් වහන්සේ යන රහතන් වහන්සේ සහ භණ්ඩුක යන අනාගාමී තරුණ රාජ කුමාරයත් සමඟ ලංකාදීපයේ ධර්මදූත සේවයට වැඩම කළහ. ඒ ප්‍රාසාදික මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනය ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම කිරීමේ අරුණෝදය වුණි.

මහාබෝධි වංශ කථාව හා සැබැඳි දේවානම්පියතිස්ස රජතුමා


තුන්වන ධර්ම සංගායනාවෙන් පසු ධර්ම අසෝක රජු විසින් රහතන් වහන්සේ ඈත රටවලට පිටත්කොට යවන කාලයේදී අපගේ මහා නුවණැති මහා මහින්ද මහරහතන් වහන්සේ උපසම්පදාව ලබා දොළොස් වසරකි. උන්වහන්සේගේ උපාධ්‍යාය වූ මොග්ගලිපුත්ත තිස්ස මහරහතන් වහන්සේ සහ සංඝ රත්නය විසින් උන්වහන්සේගෙන් ඉල්ලා සිටියේ ලංකාද්වීපයට වඩින ලෙසය.
තම පියාණන් වූ මුටසීව රජුගේ අභාවයෙන් පසු දේවානම්පියතිස්ස කුමරු රජවීමට නියමිතව සිටියේය. කලින් සඳහන් කළ ඉට්ඨිය, උත්තිය, සම්භල, භද්දසාල යන රහතන් වහන්සේ සතර නමත් ෂඩ් අභිඤ්ඤාලාභි මහා සෘර්ධිමත් සුමන නමැති සාමණේරයන් වහන්සේ කැටුව ඤාතීන්ට උපකාරී පිණිස මිහිඳු මහා රහතන් වහන්සේ රජගහ නුවර හරහා දක්ඛිණාගිරි ජනපදයට ඉල් මාසයේ සිට බක් මාසය දක්වා පා ගමනින් වැඩි අතර, ඒ ගමනට හය මාසයක් ගතවුණි. මිහිඳු මහරහතන් වහන්සේ දේවානම්පියතිස්ස කුමරු රජවෙනතුරු බලා සිටියේ හේතු සහිතවය. ඒ දේවානම්පියතිස්ස රජු, ධර්මාශෝක රජු සහා නිග්‍රෝධ රහත් සාමණේරයන් වහන්සේගේ අතීතයේ සම්බන්ධතාවයක් තිබූ නිසාය. එය මෙසේය.

දේවානම්පියතිස්ස රජුගේ අතීත ජීවිතය

බොහෝම පෙර කාලයක මී පැණි විකුණන සහෝදර වෙළෙන්දන් තුන් දෙනෙක් විය. ඔවුන්ගෙන් එක් අයෙක් මී පැණි විකුණති. දෙදෙනෙක් වනයට ගොස් මී වද කඩා පැණි ගෙන එති. එක් පසේබුදු රජාණන් වහන්සේ නමක් ශරීරයේ වූ වණ රෝගයකින් පෙළෙමින් සිටියේය. ඒ පසේ බුදුරජාණන් වහන්සේහට ඖෂධ පිණිස තවත් පසේ බුදුරජාණන් වහන්සේ නමක් මී පැණි සොයා පිඬුසිඟා වැඩිසේක.

උන්වහන්සේ පිණ්ඩපාත චාරිකාවෙන් නගරයට වැඩි අතර, එවෙලෙහි එක්තරා දාසියක් දිය ගෙනඒමට පැන් තොටට යමින් සිටි අතර ඇය මුන්වහන්සේ දුටුවේය. ඇය උන්වහන්සේ වෙත එළඹ පසඟ පිහිටුවා වැඳ “ ස්වාමිනි මේ අවේලාවෙහි පිඬුසිඟා වඩින්නේ කුමන දේ අපේක්ෂාවෙන් දැයි?” විමසීය. උන්වහන්සේ මී පැණිවල අවශ්‍යතාව වදාළ අතර “ස්වාමිනි, අර තිබෙන්නේ මී පැණි වෙළෙඳ සැලකි. එතැනට වඩින මැනවයි” කියන්නීය.
පසේබුදුරජාණන් වහන්සේ ඒ වෙළෙඳ සැලට වැඩි විට වෙළෙන්දා උන්වහන්සේ කෙරෙහි සිත පහදවා ගෙන පාත්‍රයට මී පැණි පුරවද්දී ඒ පාත්‍රා කටින් පැණි උතුරා යනතෙක් මී පැණි පූජා කළේය. ඒ අවස්ථාවේදී පාත්‍රයෙහි පිරී ඇති මී පැණිත්, එය උතුරා බිමට වැටී ගිය මී පැණිත් දුටු ඒ වෙළෙන්දාට මහත් සතුටක් ඇතිවුණි. ඔහු ප්‍රාර්ථනා කරන්නේ, “මේ මී පැණි දානය හේතුවෙන් මට මේ දඹදිව තනි රජෙකු ලෙස පාලනය කරන්නට ලැබේවා! මාගේ ආඥාව ආකාසයෙහි යොදුනක් දුර පැතිරේවා! පොළොවෙත් යොදුනක් දුර පැතිරේවා! කියායි. අනෙක් දෙදෙනා මී වද කඩා මී පැණි ගෙන ආ අවස්ථාවේදී වෙළෙන්දා කියා සිටින්නේ “අද හිස මුඬුකළ කසාවත් පෙරවූ ශ්‍රමණයන් වහන්සේ නමක් වැඩියා නොවැ. උන්වහන්සේට මී පැණි වල අවශ්‍යතාවක් තිබු නිසා මම මී පැණි පූජා කර ගත්තා. ඔබත් මම වගේ ම මේ මී පැණිවලට අයිතිකාරයන් නිසා මේ දානය අනුමෝදන් වෙත්වායි” කීය.
ඔවුන්ගෙන් වැඩිමහලු සහෝදරයා ඒ ගැන සතුටු වූයේ නැත. “ඔබ කියන ඔය පුද්ගලයා සැඬොලෙක් ම වෙන්න ඇති. සැඬොල නොවැ හැමදාම කසාවත් පොරවාගෙන ඉන්නේ” කීය. අනෙක් සහෝදරයාද සතුටු වූයේ නැත. “ඔය කියන ඔබගේ පසේබුදුන් මුහුදින් එතෙරට දමන්නට ඕනෑයි” කීය. මී පැණි දානය පිළිගත්ත උත්තමයා ගැන නොසතුට වදන් පැවසුවත්, නැවතත් කරුණු වටහාගෙන දෙන ලද දානය කෙරෙහි මහත් සන්තෝෂයට පත්වී ඒ පින අනුමෝදන් විය.
වෙළෙදසැල පෙන්වූ දිය අදින දාසිය මෙසේ සිතීය. “අපගේ ආර්යයන් වහන්සේට පැණි ලැබුණේනම් යහපති. නො ලැබුණොත් ණයට හෝ රැගෙන මම පැණි පූජා කරමි” කියා බලාපොරොත්තුවෙන් සිටියේය. පසේබුදුරජුන් නැවත වඩිද්දී “ස්වාමිනි මී පැණි ලැබුණාදැයි? විමසීය. මී පැණි පූජාකොට ඔහු ප්‍රාර්ථනාවක්ද කළ බව වදාළේය. එවිට ඈ පැණි පූජා කළ වෙළෙන්දාගේ බිසව වීමටත්, තමන්ගේ අත්පා සන්ධි නොපෙනෙන අයුරින් අතිශය රූපවත්ව ඉපදෙන්නටත් ප්‍රාර්ථනා කරන්නීය. ඒ කාලයේ මී පැණි පිදු වෙළෙන්දා අශෝක රජුන් ලෙස ඉපදුනේය. අසන්ධිමිත්‍රා දේවිය ලෙස ඉපදුනේ එතැන සිටි දාසියයි. සැඬොලා කියා පසේබුදුරජුන්ට අගරු කළ වැඩිමහලු වෙළෙන්දා සැඬොල් ගමේ උපන් නිග්‍රෝධ කුමරු යි. මුහුදෙන් එතෙරට යවන්නට ඕනෑ කියු මද්දුමයා ලංකාවේ දෙවනපෑතිස් කුමරු ලෙස ඉපදුනේය.

දේවානම්පියතිස්ස රජුගේ උපත සහ රාජාභිෂේකය

පණ්ඩුකාභය රජුට දාව ස්වර්ණපාලි බිසවට මුටසිව නමැති පුත් කුමරෙක් සිටියේය. රජුන්ගේ ඇවෑමෙන් සොර සතුරු වියවුල්වලින් තොර වූ ලංකාද්වීපයේ රජු බවට මුවසිව පත්විය. ඒ මුටසීව රජුන් මල්පල බරින් යුක්ත වූ උයනක පිහිටිය යුතු නොයෙක් ගුණාංගයන්ගෙන් යුක්ත වූ සුන්දර උද්‍යානයක් “මහමේඝ වනෝද්‍යානය” නමින් කරවූයේය. ඒ උද්‍යානය පිහිටුවන ස්ථානය සැලසුම් කළ දා ආකාලයේ මහවැසිි වළාවන් පැන නැඟී මහා වැස්සක් ඇද හැලී වැව් පොකුණු පිරී ගියේය. ඒනිසා ඒ උද්‍යානයට “මහාමේඝ වනය” යන නම ලැබුණි. ලංකාංගනාවගේ සොඳුරු මුවමඬල බඳු උතුම් අනුරාධපුරයෙහි මුටසිව රජුන් සැට වසරක් රාජ්‍ය පාලනය කළේය. මුටසිව රජු එකිනෙකා කෙරෙහි ඉතා හිතවත්ව සිටින පුත් කුමරවරුන් දස දෙනෙක් සිටියේය. ක්ෂත්‍රිය සිරිත් විරිත් අනුව හැඩගැසුණු රූපවත් වූ දියණිවරු දෙදෙනෙක් විය. ඒ මුටසිව රජුගේ දෙවැනි පුත් කුමාරයා දේවානම්පියතිස්ස නමින් ප්‍රසිද්ධ විය. සියලු සහෝදර කුමාරවරුන් අතර පෙර ආත්මයන්හි රැස්කළ පින් බලයෙන්, ප්‍රඥාවෙන් ඉදිරියෙන් සිටියේ දෙවනපෑතිස් කුමරු ය. සිය පියා වූ මුටසිව රජුගේ ඇවෑමෙන් ඒ දෙවනපෑතිස් කුමරු ලක්දිව රජු බවට පත්විය. ඔහුගේ රාජාභිෂේකයත් සමඟ බොහෝ ආශ්චර්යවත් දේ සිදුවුණි.

සසරේ පින විපාක දීම

මුළු මහත් ලංකාද්වීපයේම පොළොව යට තිබුණු නිධාන, මැණික් වර්ග උඩට මතුවී පොළොව මත පෙනෙන්නට වුණි. ලක්දිව ආසන්නයේ බිඳී ගිය නැව්වල තිබුණ මැණික් වර්ග, මුහුදේ තිබුණ වෙනත් මැණික් වර්ග පොළොව මතට ගෙන ආවේය. අනුරාධපුරයට ගිණිකොන දිසාවෙහි යොදුන් දෙකක් පමණ දුරින් “ජාත” නමින් පර්වතයක් විය. ඒ පර්වතය පාමුල උණගස් තුනක් පැන නැංගේය. ඒවා ප්‍රමාණයන් රථ (කරත්ත) යෂ්ටි තරම් විශාලත්වයෙන් යුක්ත ය. එයින් එකක් “ලතා යෂ්ටි” ලෙස හැඳින්වේ මේි යෂ්ටිය රිදී පැහැයෙන් යුක්තයි. එහි වෙලී තිබෙන වැල් රම්‍ය වූ රන්වන් පාටින් දිස්වුණි.
අශ්වරූප හැඩයෙන් යුත් මුතු, ඇත් රූප හැඩය ගත් මුතු, රථ මුතු, නෙල්ලි මුතු, වළලු මුතු, මුදු මුතු, කකුධපල මුතු යන මේ අටවැදෑරුම් වූ ඉන්ද්‍රනීල මාණික්‍යය, වෛදූර්ය (වයිරෝඩි) මාණිකයය, ලෝහිතංක මාණික්‍යය ආදි මැණික් වර්ග මතුවුණි. මුතු වර්ග මුහුදෙන් ගොඩට ගසා වෙරළේ වැටියක් ලෙස තිබුණි. මේ හැම දෙයක්ම මතු වුයේ දේවානම්පියතිස්ස රජුන් පෙර රැස් කළ පුණ්‍යානුභාවය නිසාවෙනි.
දේවානම්පියතිස්ස රජුන් රාජාභිෂේක ලබා දවස් හතක් ගතවෙද්දී මේ වස්තුව තමන් වෙත ලැබුණි. ඒ වස්තුව දුටු රජතුමා සතුටට පත්විය. රජුට එකවර මතක් වුයේ ධර්මාශෝක රජුය. ඒ සියලු වස්තුව අරිට්ඨ ඇමැති ලවා දඹදිවට යැවීය. දඹදිවෙන්ද රජුට බොහෝ වස්තුව ලැබුණි. නොදුටු මිතුරන්ගේ එවැනි ඇසුරක් තිබුණි. තිසරණය ගැන පැහැදෙන ලෙසත්, සරණ යන ලෙසත් ලියා සන්නසක් එවීය. ඒ මූලික පසුබිම මිහිඳු මහාරහතන් වහන්සේට තම ධර්මදූත සේවය සඳහා උපකාරි වුණි.

රහතන් වහන්සේ පසුපස ගිය නරේන්ද්‍රයා

දේවානම්පියතිස්ස රජු ලංකාද්වීපයේ ප්‍රථම වතාවට ධර්මය ශ්‍රවණය කළ පින්වන්තයා බවට පත්කර වූයේ මිහිඳු මහරහතන් වහන්සේ විසිනි. අම්බස්ථලයේදී වදාළ චුල්ලහත්ථිපදෝපම සූත්‍රය නිසාය. භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි පින්බිම මිහිඳු මහරහතන් වහන්සේ මතුකොට පෙන්වා දෙනවිට ඒ සෑම තැනකම සලකුණු තැබුවේය. දකුණු අකු ධාතුන් වහන්සේ තැන්පත් කොට ථූපාරාම මහා ස්තූපය ඉදිකළේය. එහිදී නොයෙක් ප්‍රාතිහාර්යය සියැසින් රජු දුටුවේය. හෙළවැසි පිනැතියන් කසාවත් දරා ශාන්තව පිඬුසිඟා වඩින අයුරු ඈත සිට බලා සිටියේය. රජු ශ්‍රී මහා බෝධීන් වහන්සේ වඩම්මවන අසිරිය සියැසින් දුටුවේය. ඒ මහා පූජනීය බෝධින් වහන්සේ තම සිරසේ පිහිටුවා දාසයෙකු සේ පෙරහරේ ගමන් කළේය. අනේක ප්‍රාතිහාර්යය නැවතත් දුටුවේය. තම රාජ්‍යය පුදා දොරටු පාලයෙකු සේ බෝධින් වහන්සේට උපස්ථාන කළේය. ජයසිරි මහාබෝධිවංශ කථාව කියවන කෙනෙකුට දේවානම්පියතිස් රජුගේ මේ රාජ්‍යය අසිරිය කෙසේ නම් අමතක කරන්නද?

මහා බෝධියේ රහස් හෙළිකළ මොග්ගලිපුත්තතිස්ස මහරහතන් වහන්සේ


බෝධිවංශ කතාවේ එන ධර්මාශෝක නරේන්ද්‍රයා පිළිබඳවත්, දේවානම්පියතිස්ස රජු පිළිබඳවත්, නිග්‍රෝධ මහරහතන් වහන්සේ පිළිබඳවත් අප දැන් දැනුම්වත්. අද කථා කරන්නේ මහා බෝධින් වහන්සේගේ රහස් එළිකළ මොග්ගලිපුත්ත තිස්ස මහරහතන් වහන්සේ පිළිබඳවය.

භාග්‍යවතුන් වහන්සේගේ අධිෂ්ඨාන පහ

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දකුණු ශාඛා රත්නය ආයුධයකින් නොකපා ලබා ගන්නේ කෙසේදැයි අශෝක රජු කල්පනා කරමින් සිටින විට එයට විසඳුම් ගෙන දෙන්නේ මොග්ගලිපුත්ත තිස්ස මහ රහතන් වහන්සේ විසිනි. උන්වහන්සේ රජුට පහදා දෙන්නේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් මඤ්චකයේ සිට සිදුකළ අධිෂ්ඨාන පහක් පිළිබඳවයි.
(1.) ජය ශ්‍රී මහා බෝ දක්ෂිණ ශාඛාවේ පත්‍රයෙන් සහ බීජයෙන් සවනක් රැස් විහිදේවා , (2). ධර්මාශෝක මහරජු දක්ෂිණ ශාඛා බෝධීන් වහන්සේ ලක්දිවට යැවීම පිණිස බෝමැඬට පැමිණේ. එකල්හි දක්ෂිණ බෝ ශාඛාව තෙමේම සිඳී රන් කටාරමේ පිහිටත්වා (3) ඒ දක්ෂිණ බෝ රජු වළා අතරට වැඩ සතියක් සිටීවා, (4) ථූපාරාමයේ දකුණු අකු ධාතුන් වහන්සේ පිහිටන දවස ඒ ධාතුන් වහන්සේ යමක මහා ප්‍රාතිහාර්ය පාත්වා, (5) ද්‍රෝණයක් ධාතුන් වහන්සේ රත්නමාලි මහා සෑයෙහි පිහිටන දා බුදු සිරුර මවා ඒ ධාතුන් වහන්සේ යමක මහා ප්‍රාතිහාර්ය පාත්වා යි ඒ අධිෂ්ඨාන පහයි. ඒ අනුව ධර්මාශෝක රජු දක්ෂිණ බෝධීන් වහන්සේ සම්බන්ධව කටයුතු සිදු කිරීම ආරම්භ කරන ලදී.

මොග්ගලිපුත්ත තිස්ස මහරහතන් වහන්සේගේ උපත

අපගේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පා වසර සියයක් ගිය තැන දස අකැප වස්තූන් මුල්කරගෙන දෙවන ධර්ම සංගායනාව පැවැත්වුණි. ඒ සඳහා මුල්වූ මහරහතන් වහන්සේ අනාගත ශාසන පැවැත්ම ගැන දිවැසින් බලා වදාළ සේක. එවිට දුටුවේ තවත් වසර එකසිය දහඅටක් ගිය තැන විශාල ශාසන අර්බුදයක් හටගන්නා බවකි. ධර්ම සංගායනාවකට කරුණු යෙදෙන බවකි. ඊට මූලිකත්වය දෙන්නට ප්‍රමුඛ වන්නට සුදුසු වූ පින්වන්තයා කවුරුන්ද? කියා සෙවීය. බඹලොව තිස්ස නම් මහා පිනැති බ්‍රහ්මයා මේ සඳහා ඉතා යෝග්‍ය බවත්, හේතු සම්පත් ඇති බවත් දිටීය. ඒ අනුව ඒ මහා රහතන් වහන්සේ තිස්ස බ්‍රහ්මයා කරා වැඩම කොට අනාගත ශාසනස්ථිතිය උදෙසාත් ගෞතම සසුනේ පිහිට ලබන ඒ උතුම් ශාසනය බැබැළවීම උදෙසාත්, මනුලොව ඉපදෙන ලෙස ආරාධනා කළ සේක. ඒ පිනැති බ‍්‍රහ්මයාට කරුණු වටහා දුන් පසු ආරාධනාව පිළිගෙන වසර ගණනාවක් ඉක්ම ගියතැන මනුලොව මොග්ගලි යන බ්‍රාහ්මණයා හා බැමිණියට දාව උපත ලබා “මොග්ගලි” නමින් ප්‍රසිද්ධ වුණි.

මොග්ගලි කුමරුගේ පැවිද්ද

ඒ කුමරු මව්කුස පිළිසිඳ ගත්දා සිට “සිග්ගව“ නම් රහතන් වහන්සේ ඒ නිවසට පිඬුසිඟා වඩිති. වසර හතක් ඒ උදවිය වචනයක්වත් උන්වහන්සේ සමඟ කථා නො කළේය. ඉදින් දානය ගැන කවර කතාද? එක වචනයක් ලැබු හත්වැනි අවුරුද්දේ තෙරුන් සතුටු විය. එය දුටු බමුණු යුවල දානයක් නො ලබාත් සතුටට හේතුව විමසීය. මේ සත් වර්ෂයටම කුමක්වත් නොලැබු අද “මෙතැනින් වඩින්න” වචනය ලැබූ නිසා සතුටු වූ බව තෙරුන් වහන්සේ වදාළහ. එයින් පැහැදුනු සිත් ඇති ඒ බමුණන් නිතර නිවසේ දන් පිස නිති දන් දීම සිදු කළේය. ඒ මොග්ගලි කුමරාද දහසය හැවිරිදි වූයේ සියලු වේද, ඉතිහාස හා දැනුමෙන් නිපුණ කෙනෙක් වුණි. දිනක් සිග්ගව රහතන් වහන්සේ ඒ නිවසට වඩිද්දී කුමරා හිදින අසුන හැර අනෙක් සියලුම ආසන නො පෙනෙන්ට සෘර්ධියක් කළ සේක. බමුණු යුවලට පෙනුනේ ඒ ආසනය බැවින් තෙරුන් වහන්සේට අසුන් ගැනීමට ඒ ආසනය ලබා දුණි. ශිල්ප ඉගෙන පැමිණි කුමරු එය දැක කිපී වේද වේදාන්තයෙන් ප්‍රශ්න ඇසීය. එසේ කළේ තෙරුන් වෙහෙසවා පළවා හැරීමටය. සිග්ගව මහරහතන් වහන්සේ ඒ සියල්ලටම පිළිතුරු දී බුද්ධ දේශනාහි සඳහන් පරිදි සිත ගැන ගම්භීර ප්‍රශ්නයක් විමසා වදාළේය. කුමරාට එයට උත්තර නොතිබුණි. පිළිතුර තෙරුන් වහන්සේගෙන්ම විමසද්දී “මහණ වුවොත් කියා දෙමියි” වදාළේය. ශාස්ත්‍ර ලෝභයෙන් පැවිදි වූ ඒ මොග්ගලි සාමණේරයන්ට බුද්ධ වචනය උගන්වා වදාළේ “චණ්ඩවජ්ජි” මහරහතන් වහන්සේ විසිනි. පසුකාලයේදී මොග්ගලි තෙරුන් අරහත්වයට පත් වූ සේක. බුද්ධ වචනය මතකයේ දරා සිටි සේක. සිව්පිළිසිඹියාපත් රහතන් වහන්සේ නමක් වූ උන්වහන්සේ උපසම්පදාවෙන්ද වැඩුණේය. මොග්ගලිපුත්ත තිස්ස මහරහතන් වහන්සේ ලෙස ප්‍රසිද්ධ වූ සේක.

මිහිඳු කුමරුන් පැවිදි කරවීම

මහා ධර්මරක්ෂිත මහරහතන් වහන්සේ කෙරෙහි පැහැදි ධර්මාශෝක රජුගේ මළනුවන් වන තිස්ස යුව රජු පැවිදිව අර්හත් වයට පත් වූ සේක. ඒ වගේම සුවාසු දහසක් වෙහෙර විහාර කොට ශාසනයට ඇතුළු නොවූ බව දැන විසි වයස් ඇති මහින්ද කුමාරයාත් දහඅට හැවිරිදි සංඝමිත්තා කුමරියත් ගෞතම බුදු සසුනේ පැවිදි කරවීය. ඔවුහු ඉතා කැමැත්තෙන්ම පැවිදි විය. මොග්ගලිපුත්ත තිස්ස මහරහතන් වහන්සේ සමීපයේ මුළුමහත් බුද්ධ වචනයම ඉගෙන ගෙන අර්හත්වයට පත්වූහ. මිහිඳු මහරහතන් වහන්සේ මොග්ගලිපුත්ත තිස්ස මහරහතන් වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍යයා බවට පත් විය.

මොග්ගලිපුත්ත තිස්ස මහරහතන් වහන්සේ වනගත වීම

අන්‍යය තීර්ථකයන් ශාසනයේ සිව්පස ලෝභයෙන් සිවුරු දරා සිටීම නිසා සිදුවන ශාසනය විනාශය දුටු මහරහතන් වහන්සේ අර්බුදය සංසිඳුවන කාලය පැමිණෙන තුරු මිහිඳු මහරහතන් වහන්සේට සිසු පිරිස බාර දී “ගංගානම්” පර්වතයට වැඩ හුදකලාව සිටි සේක.
සත් අවුරුද්දක් පෝය නොකොට සිටීමේ අර්බුදය සංසිඳුවීමට යැවූ අමාත්‍යයා සංඝයා ඝාතනය කළ අතර, එය දැනගත් ධර්මාශෝක මහරජ ඒ පාපය කාට සිදුවූයේ දැයි මහත් සේ පසුතැවීමට පත්ව සිත සංසිඳුවීමට සමත් මහා තෙරුන් වහන්සේ රාජ්‍යයට කැඳවීමට දූතයන් තුන්වරක් පිටත් කළත් නොවැඩි සේක. සතරවැනි වර ශාසනය නඟා සිටුවීමට ශාසන සංග්‍රහය පිණිස වඩිනු මැනවැයි කියා ආරාධනා කළ කල්හි වැඩම කළ සේක.

පෘථිවි මාලක මහා සෘර්ධිය

රජු මොග්ගලිපුත්ත තිස්ස මහරහතන් වහන්සේගේ සෘර්ධිය දැකීමට කැමැති විය. කුමන සෘර්ධියක්ද යත් පෘථිවිය කම්පාවනු දැකීමයි. මුළු පෘථිවියමද නැතිනම් පෘථිවියෙන් කොටසක් දැයි තෙරුන් වහන්සේ විමසීය. රජු අසන්නේ අපහසු දේ කුමක්ද? කියායි. පැන් පිරවූ බඳුනක සියලු ජලය කම්පා කිරීමද නැතිනම් අඩක් පමණක් කම්පා කිරීමද අපහසුදැයි වීමසීය. කොටසක් කම්පා කිරීම අපහසු බව කීය. ඒ අනුව පොළොවෙන් කොටසක් කම්පා කිරීම සඳහා සීමා කොට ඒ කොටස කොටසක් (යොදුනක්) උතුම් මහරහතන් වහන්සේ ඒ කොටස සෘර්ධියෙන් කම්පා කළ සේක. ඒ සීමාවේ තැබූ කරත්තයේ ඇතුළු පැත්ත රෝදය සෙලවෙයි. පිට පැත්තේ රෝදය නොසෙල් වෙයි. සීමාවේ සිටි අශ්වයන්ගේ, මිනිසුන්ගේ එක් පාදයක් සෙලවේ. අනෙක් පාදය නොසෙල්වේ. සීමාවේ තිබූ පැන් තලියේ ඇතුළු පැත්තේ පැන් අඩක් සෙලවෙයි. අනෙක් අඩ නොසෙල්වෙයි. මේ අපූරු ආශ්චර්ය ප්‍රාතිහාර්ය දැක ධර්මාශෝක රජු මහත් පී‍්‍රති ප්‍රමෝදයට පත්ව තම සැක සංකා දුරුකර ගත්තේය.

ශාසන ශුද්ධිය

ගෞතම බුදු සසුන පිළිබඳ සියලු විස්තර මොග්ගලිපුත්ත තිස්ස මහරහතන් වහන්සේගෙන් දැන ඉගෙනගෙන ඒ උතුම් රහතන් වහන්සේ හා එක්ව ශාසන ශුද්ධිය පිණිස යක්ෂයන් දෙදෙනෙකු ලවා මුළු ජම්බුද්ධීපයේම සිටින සියලු භික්ෂූන් කැඳවා තිර යෙදූ මණ්ඩපයක් තුළදී “භාග්‍යවතුන් වහන්සේ කුමන වාදීදැයි” විමසා නා නා මත දැරූ ශ්‍රමණවේෂධාරීන් හඳුනාගෙන “විභජ්ජවාදී” යැයි කියූ පිරිසුදු සංඝයාද හඳුනාගෙන සත් වසරකට පසු සසුන පිරිසුදු කිරීමට සංඝයාට පොහොය කරන්නට සැළැස්විය. ඒ සෑම කටයුත්තකදීම මූලික අනුශාසනා කළේ මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේමැ ය.

තෘතිය ධර්ම සංගායනාව හා ධර්ම දූත සේවාව

මොග්ගලිපුත්තතිස්ස මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් අශෝකාරාමයේදී නව මසක් තුළ රහතන් වහන්සේ දහස් නමක් එක්ව ධර්ම සංගායනා කළ සේක. මහපොළොව කම්පා විය. ඒ අනුව ධර්මධර විනයධර තෙරුන් බොහෝ රටවලට ධර්ම ප්‍රචාරය සඳහා යැවීමට කටයුතු සිදුවිය. මොග්ගලිපුත්ත තිස්ස මහරහතන් වහන්සේගේ ප්‍රධාන සිසු දරුවන් පස් දෙනාම ලංකාවට වැඩම කරවීම කෙතරම් වාසනාවක්ද? එහි ප්‍රතිඵල වශයෙන් හෙළවැසි රහතුන් බිහිවුණි. අදත් අප බුදු සසුනේ පිහිට ලබන්නේ ඒ නිසාය. වසර 120 ක් වැඩ සිටි මහරහතන් වහන්සේ පිරිනිවන් පෑ සේක.

රූපනන්දා රහත් තෙරණිය ලක්දිවට වැඩම වූ මහරි බෝධින් වහන්සේ

"මහාතිත්ථ වනයේ දිවා විහරණය කළ කකුසඳ භාග්‍යවතුන් වහන්සේ සවස් යාමයේදී තමන් වහන්සේ පිට දුන් බෝධිය වන මහරි බෝ රුක පිහිටුවීමට යෝග්‍ය වූ භූමිය වෙත වැඩම කළ සේක. එතැන වැඩහුන් සම්බුදු රජාණන් වහන්සේ සමාධියට සමවැදුන සේක. සමාධියෙන් නැඟී සිටි භාග්‍යවතුන් වහන්සේ ඕජදිජවාසීන්ට හිත පිණිස රූපනන්දා රහත් තෙරණිය මෙහි පැමිණෙත්වායි යන කාරණාව සිතූ සේක. ඒ සැනෙන් ම රූපනන්දා රහත් මෙහෙණින් වහන්සේ කකුසඳ බුදුුරජාණන් වහන්සේගේ එම සිත දැක ඛේම නුවර ඛේම රජුන්ට මේ කරුණ සැළ කළේය. රජුන්ද සමඟ මහරි බෝධින් වහන්සේ ළඟට වැඩම කොට මහා සෘද්ධිමත් වූ රූපනන්දා රහත් මෙහෙණින් වහන්සේ ඛේම රජුන් ලවා රන් සිරියල් වලින් මහරි බෝධින් වහන්සේගේ දකුණ ශාඛාවට රේඛාවක් ඇන්දවීය. එවිට ඒ දකුණු මහරි මහබෝ ශාඛාව බෝධීන් වහන්සේගෙන් වෙන්වී ගොස් රන් කටාරමේ පිහිටි සේක."
ලක්දිවට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩමවීම සම්බන්ධව වංශ කතාවේ එන ධර්මාශෝක නරේන්ද්‍රයාණන්, දේවානම්පියතිස්ස නිරිඳුන්, නිග්‍රෝධ රහතන් වහන්සේ, මොග්ගලිපුත්ත තිස්ස මහරහතන් වහන්සේ ආදී උතුමන්ගේ විස්තර අප මෙතෙක් කථා කෙළෙමු. මේ සෑම සිද්ධියකදීම කියවෙන නාමයක් වුණේ මිහිඳු මහරහතන් වහන්සේ ය. මිහිඳු මහ රහතන් වහන්සේ මහබෝ වරුණේ අරුණැල්ල වේ.

මිහිඳු මහරහතන් වහන්සේ සහ ධර්මදූත සේවය

මෙරටට ධර්මය දායාද කරන්නට සුදුසුම තෙරුන් මිහිඳු මහරහතන් වහන්සේ බව මොග්ගලිපුත්ත තිස්ස මහරහතන් වහන්සේ තීරණය කළ සේක. උපසම්පදා මාලකයේම අරහත්වයට පත් වූ මිහිඳු තෙරුන් ඒ වනවිට උපසම්පදාවෙන් දොළොස් වසරක් ගෙවා තිබුණි. උන්වහන්සේගේ ලංකා ගමනය අප ඉගෙන ගත්තෙමු. මහමෙවුනා උයන බුදු සසුනට පූජා කරද්දී මහපොළොව සලිත විය. අඹ පැනයත්, ඤාණ පැනයත් අසා දේවානම්පියතිස්ස රජුගේ ඤාණය ගැන පැහැදුනු උන්වහන්සේ ලංකාවේදී ප්‍රථම වතාවට දේශනා කළේ චුල්ලහත්ථිපදෝපම සූත්‍රයයි. ඒ දේශනාව අසා රජු ඇතුළු පිරිස සසුන ගැන මහත් ප්‍රසාදයට පත්විය.

දීප ප්‍රාසාදකයන් වහන්සේ සසුන පිහිටුවීම

පසුදින ඇත්හලේදී දන් වළදා දෙසු පේ‍්‍රත වත්ථු, විමාන වත්ථු, සච්ච සංයුක්ත ආදී දේශනා ශ්‍රවණය කොට අනුලා දේවිය ඇතුළු පන්සියයක් ස්ත්‍රීන් සෝවාන් වූහ. බොහෝ පිරිස් සත්‍යය ධර්මය ශ්‍රවණය කිරීමේ අභිලාසයෙන් පැමිණියේය. මහාමේඝ වනය එනම්, මහමෙවුනා උයන සැදැහැවතුන්ගේ දම්සභා මණ්ඩපය විය. බුදු සසුනේ ප්‍රථම ආරාම පූජාව වේළුවනාරාම පූජා කතාව දේශනා කරද්දී සකදාගාමි වූ අනුලා දේවිය ඇතුළු පිරිස පැවිදි බව ඉල්ලීම හේතු කරගෙන සංඝමිත්තා රහත් තෙරණිය සහ බෝ රජුන් වැඩවීම පිළිබඳව කතාව ආරම්භ විය. මහමෙවුනාව බුදු සසුනට පූජා කරද්දී මහපොළොව සලිත විය.

බුදුවරු වැඩ සිටි භූමි හඳුනා ගැනීම

දෑ සමන් විසුරුවමින් පොළොව ඒ ඒ තැන කම්පා වෙද්දී මිහිඳු මහරහතන් වහන්සේ ලෝවාමහාපාය, ජන්තාගාර පොකුණ, මහාබෝධි භූමිය, සංඝකර්ම මාලකය, සංඝයාට පිරිකර පූජාකරන ස්ථානය, චතුස්සාලා භූමිය (දාන ශාලාව), මහාසෑය සීමා ආදිය ලකුණ කළහ. ස්ර්ණමාලි මහසෑය පිහිටන තැන සපුමල් විසිර වූ සේක. මේ ආකාරයෙන් අප භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පන්සියයක් පමණ මහරහතන් වහන්සේ සමඟ සමාපත්තියෙන් වැඩසිටි පූජණීය භූමි සලකුණු කොට වදාළ සේක. ඒ වගේම රුවන්මැලි සෑ භූමිය පිහිටන ස්ථානයේද සතර බුදුරජාණන් වහන්සේ එනම් මේ මහාභද්‍ර කල්පයේ පහළ වූ කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම යන බුදුරජාණන් වහන්සේ මේ ලක්දිවට වැඩම කළ විස්තරයත් බෝධීන් වහන්සේ වැඩම කිරීම පිළිබඳවත් වදාළ සේක.

මහා බෝධීන් වහන්සේ පිහිටන භූමිය හඳුනා ගැනීම

අපගේ මිහිඳු මහ රහතන් වහන්සේ රජ ගෙදර දොරටුව අසලට වැඩම කොට සමන් මල් අට මිටක් ඒ ස්ථානට පූජා කළ සේක. ඒ අවස්ථාවේදීත් මහපොළොව සැලී ගියේය. එයට හේතුව කිම? මිහිඳු මහරහතන් වහන්සේ වදාළේ “මහරජතුමනි, මේ මහා භද්‍ර කල්පයේ අපගේ බුදුරජාණන් වහන්සේට කලින් බුද්ධ බවට පත් වී වදාළ කකුසඳ, කෝණාගමන, කාශ්‍යප යන තුන් බුදුවරයන් වහන්සේ බුදුවන අවස්ථාවේ පිට දුන් මහරිය, දිඹුල්, නුග යන බෝධින් වහන්සේගෙන් දකුණු ශාඛා බෝධීන් වහන්සේ වඩම්මවාගෙන අවුත් මෙතැන රෝපණය කර තිබේ. මහරජතුමනි, අප තථාගතයන් වහන්සේ බුද්ධත්වය ලබන මෙහොතේ පිට දී වදාළ ඇසතු බෝධින් වහන්සේගේ දකුණු ශාඛා බෝධින් වහන්සේත් මේ ස්ථානයේදී පිහිටුවනු ලැබේ” යන්නය.

කකුසඳ බුදුරජුන් දවස මහරි බෝ රජුන් වැඩමවීම

මේ මහා භද්‍ර කල්පයේ පළමුවෙන් ලොව පහළ වී වදාළේ කකුසඳ බුදුරජාණන් වහන්සේය. උන්වහන්සේ සියලු ධර්මයන් පිළිබඳ මනා අවබෝධයෙන් යුතු, සියලු ලෝක සත්ත්වයා කෙරෙහි අනුකම්පා ඇති ලොවට ශාස්තෘ වූ සේක. ඒ කාලයේ මේ මහමෙවුනා උයන හැඳුන්වූයේ “මහාතිත්ථ” යන නමිනි. මහතිත්ථ උයනට නැඟෙනහිරින් අභය කියා නගරයක් විය. ඒ අභය පුරයේ සිටියේ අභය නමින් රජ කෙනෙකි. ඒ කාලයේ මේ ලංකාද්වීපයේ හැඳින්වූයේ “ඕජදීප” නමිනි. ඕජදීපවාසීන්ට පුණ්ණකාල නම් රකුසෙක් නිසා හටගත් “පජ්ජරකත” නම් උණ රෝගයක් වැළදී තිබුණි. අපගේ කකුසඳ දසබලයන් වහන්සේ ඕජදීපවාසීන්ට ඇති වී තිබෙන ඒ උපද්‍රවය දැක ඒ උපද්‍රවය නිසා මනුෂ්‍යයන් හට වූ විනාශයත්, කකුසඳ බුදු සසුනේ පැවැත්මත් පිණිස මේ ද්වීපය කෙරෙහි උපන් කරුණා බලය නිසාවෙන් හතළිත් දහසක් රහතන් වහන්සේ පිරිවරාගෙන සෘද්ධි බලයෙන් යුතුව අහසින් වැඩමවා දෙවිකුළු නමැති පර්වතය මතට වැඩ වදාළ සේක. මහරජ, කකුසඳ සම්බුදු රජුන්ගේ බුද්ධානුභාවයෙන් මේ මුළු ද්වීපයෙහිම තිබුණ පජ්ජරක රෝගය සංසිඳී ගියේය. නරේශ්වරයෙනි, ඒ මුනිවරයන් වහන්සේ මේ ඕජදිපවාසී සියලු මිනිස්සු අද මාව හොඳින් දකිත්වා කියා අධිෂ්ඨානයකුද කළ සේක. ඒ වගේම මා වෙතට එන්ට කැමැති සියලුම මනුෂ්‍යයෝ ඉතා සුවසේ ඉක්මනින්ම පැමිණෙත්වායි කකුසඳ මුණින්ද්‍රයන් වහන්සේ අධිෂ්ඨාන කළ සේක. බුද්ධ රශ්මි මාලාවෙන් බබළන කකුසඳ බුදුන් වහන්සේත්, ඒ බුදු රැසින් දිලිසෙන දෙව්කුළු පර්වතයත් දුටු අභය රජුන් නුවර වැසියෝ වහාම එතැනට පැමිණියේ ය. දෙවිකුළු පර්වතවාසී දෙවියන්ට පුද පූජා පැවැත්වීම පිණිස එහි ගිය මිනිසුන් ද සිටියේය.
ශ්‍රාවක සංඝයා වහන්සේ සහිත ලෝකනාථයන් වහන්සේ දුටු ඔවුන් සිතුවේ දේවතාවෝ පෙනෙන්ටම වැඩම කොට සිටින බවයි. ඒ අභය රජුන් අතිශයින්ම සතුටට පත්ව කකුසඳ මුණිරජාණන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට දානය පිණිස ආරාධනා කළේය. අභයපුරය සමීපයේ පිහිටි මහාතිත්ථ උද්‍යානයට වඩමවාගෙන ගියේය. ඒ අවස්ථාවේ මහා තිත්ථ වනය අකාලයේ පිපී ගිය මලින් අලංකාර වුණි. කකුසඳ භාග්‍යවතුන් වහන්සේ එය පිළිගනිද්දී මහපොළොව කම්පා විය. එතැනම වැඩහුන් ලෝකනාථයන් වහන්සේ ධර්මය දේශනා කොට වදාළ සේක. ඒ දෙසුම අවසානයේ හතළිස් දහසක් මිනිසුන් මාර්ගඵලවබෝධයට පත්වුණි. මහාතිත්ථ වනයේ දිවා විහරණය කළ කකුසඳ භාග්‍යවතුන් වහන්සේ සවස් යාමයේදී තමන් වහන්සේ පිට දුන් බෝධිය වන මහරි බෝ රුක පිහිටුවීමට යෝග්‍ය වූ භූමිය වෙත වැඩම කළ සේක.

මහරි බෝ රජුන් වැඩමවූයේ රූපනන්දා රහත් තෙරණින් වහන්සේයි

එතැන වැඩහුන් සම්බුදු රජාණන් වහන්සේ සමාධියට සමවැදුන සේක. සමාධියෙන් නැඟී සිටි භාග්‍යවතුන් වහන්සේ ඕජදිජවාසීන්ට හිත පිණිස රූපනන්දා රහත් තෙරණිය මෙහි පැමිණෙත්වායි යන කාරණාව සිතූ සේක. ඒ සැනෙන් ම රූපනන්දා රහත් මෙහෙණින් වහන්සේ කකුසඳ බුදුුරජාණන් වහන්සේගේ එම සිත දැක ඛේම නුවර ඛේම රජුන්ට මේ කරුණ සැළ කළේය. රජුන්ද සමඟ මහරි බෝධින් වහන්සේ ළඟට වැඩම කොට මහා සෘද්ධිමත් වූ රූපනන්දා රහත් මෙහෙණින් වහන්සේ ඛේම රජුන් ලවා රන් සිරියල් වලින් මහරි බෝධින් වහන්සේගේ දකුණ ශාඛාවට රේඛාවක් ඇන්දවීය. එවිට ඒ දකුණු මහරි මහබෝ ශාඛාව බෝධීන් වහන්සේගෙන් වෙන්වී ගොස් රන් කටාරමේ පිහිටි සේක. "මහරජතුමනි, පන්සියයක් රහත් මෙහෙණින් වහන්සේ පිරිවරාගත් රූපනන්දා භික්ෂුණිය මහරි මහබෝ ශාඛාවත් රැගෙන සෘර්ධියෙන් මෙහි වැඩමවා ඇත." දේවතාවුන් වහන්සේ පිරිවරාගෙන කකුසඳ සම්බුදුරජාණන් වහන්සේ දිගු කොට වදාළ දකුණු හස්තය මත බෝධි ශාඛාව සහිත ඒ රන් කටාරම පිහිටියේය. එය තථාගතයන් වහන්සේ බෝධීන් වහන්සේ පිහිටුවනු පිණිස අභය රජුට ලබා දුන්නේය.
අභය රජුන් මහාතිත්ථ උයනෙහි බෝධින් වහන්සේ රෝපණය කළේය. කකුසඳ භාග්‍යවතුන් වහන්සේ පිරිවර සහිත වූ රූපනන්දා භික්ෂුණියට මේ ඕජදිපයෙහි වැඩවාසය කරන්නට සැලැස් වූයේය. තම ශ්‍රාවක මහාදේව රහතන් වහන්සේද දහසක් රහතන් වහන්සේ සමඟ මෙහි වැඩ වාසය කරන්නට සළස්වා සම්බුදුරජාණන් වහන්සේ එතැනින් නැඟෙනහිර දොරින් පිහිටි රුවන් මළුවෙහි වැඩහිඳ ජනයාගේ යහපත පිණිස උතුම් අනුශාසනා කොට සංඝයා වහන්සේ සමඟ අහසට පැන නැගී දඹදිවට වැඩි සේක. මේ ආකාරයට මේ භද්‍ර කල්පයේ පළමුවෙන් බුදුරජාණන් වහන්සේගේ පටන් ගෞතම බුදුරජාණන් වහන්සේ දක්වා බෝධින් වහන්සේගේ ගුණ වර්ණනාව අනුරාධපුර මහමෙවුනාවේ රැව් පිළිරැව් දුණි.
කෝණාගමන බුදුරජාණන් වහන්සේගේත්, කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේත් උතුම් බෝධින් වහන්සේ මෙරටට වැඩම වූ අයුරු ඉදිරියේදී කථා කරන්නෙමු.

කණකදත්තා රහත් තෙරණිය ලක්දිවට වැඩම වූ දිඹුල් බෝධීන් වහන්සේ

මහානාම වනයේ දිවා විහරණය කළ කෝණාගමන භාග්‍යවතුන් වහන්සෙ සවස් යාමයේදී පෙර කකුසඳ බුදුරජාණන් වහන්සේගේ බෝධිය පිහිටි භූමිය වෙත වැඩම කළ සේක. එතැන වැඩහුන් සම්බුදුරජාණන් වහන්සේ සමාධියට සමවැදුන සේක. සමාධියෙන් නැඟී සිටි භාග්‍යවතුන් වහන්සේ වරදීපවාසීන්ට හිත පිණිස වූ කාරණාවක් සිතා වදාළ සේක. “මාගේ බෝධිය වන දිඹුල් බෝධි වෘක්ෂයෙන් දකුණු ශාඛාවක් රැගෙන කණකදත්තා භික්ෂුණිය භික්ෂුණීන් වහන්සේත් සමඟ මෙහි පැමිණෙත්වා!” යන කරුණයි. එසැනින් ම කණකදත්තා රහතන් මෙහෙණින් වහන්සේ දඹදිව ශෝභවතී නුවර ශෝභන නමැති රජ්ජුරුවන්ට මෙකරුණ සැළ කළේය.

 

මහානාම

වනයේ දිවා විහරණය කළ කෝණාගමන භාග්‍යවතුන් වහන්සෙ සවස් යාමයේදී පෙර කකුසඳ බුදුරජාණන් වහන්සේගේ බෝධිය පිහිටි භූමිය වෙත වැඩම කළ සේක. එතැන වැඩහුන් සම්බුදුරජාණන් වහන්සේ සමාධියට සමවැදුන සේක. සමාධියෙන් නැඟී සිටි භාග්‍යවතුන් වහන්සේ වරදීපවාසීන්ට හිත පිණිස වූ කාරණාවක් සිතා වදාළ සේක. “මාගේ බෝධිය වන දිඹුල් බෝධි වෘක්ෂයෙන් දකුණු ශාඛාවක් රැගෙන කණකදත්තා භික්ෂුණිය භික්ෂුණීන් වහන්සේත් සමඟ මෙහි පැමිණෙත්වා!” යන කරුණයි. එසැනින් ම කණකදත්තා රහතන් මෙහෙණින් වහන්සේ දඹදිව ශෝභවතී නුවර ශෝභන නමැති රජ්ජුරුවන්ට මෙකරුණ සැළ කළේය.
අනුරාධපුර මහාමේඝ වනයේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ පිහිටන බිමෙහි අතීතයෙහි වැඩසිටි බුදුරජාණන් වහන්සේගේද බෝධීන් වහන්සේල රෝපණය වූ බව මිහිඳු මහරහතන් වහන්සේ දේවානම්පියතිස්ස නිරිඳුන්ට විස්තර කළ සේක. කකුසඳ බුදුරජාණන් වහන්සේ එකල "ඕජදීප" නම් වූ මේ ලක් දෙරණෙහි එකල මහාතිත්ථ නම් වූ මෙකල මහමෙවුනා උයනෙහි මහරි නම් වූ බෝධීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටියදීම රූපනන්දා රහත් තෙරණිය විසින් වැඩමවන ලදුව මෙහි රෝපණය කළ බව අප පසුගිය ලිපියෙහි කථා කෙළෙමු. අද අප කතා කරන්නේ කෝණාගමන බුදුරජාණන් වහන්සේ වැඩසිටි කාලයේ කෙසේ නම් බෝධීන් වහන්සේ රෝපණය වූයේද යන්නයි. මේ සියලු අතීත තොරතුරු අපට පහදා දුන්නේ අපගේ මිහිඳු මහරහතන් වහන්සේමැ ය.

කෝණාගමන බුදුරජුන් ලක්දිවට වැඩම කිරීම

මේ මහා භද්‍ර කල්පයේ දෙවනුව පහළ වූයේ කෝණාගමන බුදුරජාණන් වහන්සේ ය. සියල්ල මැනවින් දත් සකල ලෝක සත්ත්වයාට අනුකම්පා ඇති උන්වහන්සේ දෙව් මිනිසුන්ගේ ශාස්තෘන් වහන්සේ වූ සේක. ඒ කාලයේ මහමෙවුනා උයන හැඳින්වූයේ මහානාම උද්‍යානය කියායි. ඒ උයනට දකුණු දිසාව පැත්තට වඩ්ඪමානපුර නමින් නගරයක් විය.
ඒ දිනවල රට පාලනය කළ රජු වූයේ සමිද්ධි රජුය. මේ ලංකාද්වීපය ඒ කාලයේ හැඳින්වූයේ වරදීප කියායි. ඒ කාලයේ ඒ වරදීපයෙහි නියඟයක් නිසා දුර්භික්ෂයෙන් හටගත් බලවත් උපද්‍රවයක් ඇතිවුණි. කෝණාගමන බුදුරජාණන් වහන්සේ වරදීපවාසීන් මුහුණ දී සිටි මේ උපද්‍රවය දැක වදාළ සේක.
ඒ දුර්භික්ෂ උපද්‍රවය නැතිකොට මනුෂ්‍යයන්හට විනයත් කෝණාගමන බුදු සසුනෙහි පැවැත්මත් පිණිස මේ ද්වීපය කෙරෙහි උපන් කරුණා මහිමය නිසාවෙන් තිස් දහසක් රහතන් වහන්සේ පිරිවරින් යුක්ත කොට සමන්කුළු නමැති පර්වතය මතට සෘද්ධි බලයෙන් අහසින් වැඩ වදාළ සේක. කෝණාගමන සම්බුදුරජාණන් වහන්සේ ගේ උතුම් බුද්ධානුභාවයෙන් දුර්භික්ෂය නැතිවී ගියේය. කෝණාගමන බුදුසසුන අතුරුදහන් වන කාලය දක්වාම නිසි කලට මනාකොට වැසි වැස්සේය.
නරේශ්වරයෙනි, ඒ කෝණාගමන මුනීශ්වරයන් වහන්සේ වරදිපවාසී සියලු මිනිස්සු අද මාව හොඳින් දකිත්වා! යැයි අධිෂ්ඨාන කොට වදාළ සේක. ඒ වගේ මා වෙතට එන්නට කැමැති සියලු මනුෂ්‍යයන් ඉතා සුවසේ ඉක්මනින් ම පැමිණෙත්වා! යැයි කෝණාගමන මහා මුනීන්ද්‍රයන් වහන්සේ අධිෂ්ඨාන කොට වදාළේය.
බුද්ධ රශ්මි මාලාවෙන් බබළන කෝණාගමන බුදුරජාණන් වහන්සේත් ඒ බුදුරැසින් දිලිසෙන සමන්කුළු පර්වතයත් දුටු සමිද්ධි රජුන් සහ නුවර වැසියෝත් වහාම එතැනට පැමිණියේ ය. සමන්කුළු පර්වතවාසී දෙවියන්ට පුදපූජා පැවැත්වීම පිණිස එහි ගිය මිනිසුන්ද සිටියේය. ශ්‍රාවක සංඝයා වහන්සේ සහිත ලෝකනාථයන් වහන්සේ දුටු ඔවුන් සිතුවේ දේවතාවුන් වහන්සේ ඇස් පනාපිට ම වැඩම කොට සිටින බවකි. සමිද්ධි රජුන්ද අතිශයින් ම සතුටට පත්ව කෝණාගමන බුදුරජාණන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට දානය පිණිස ආරාධනා කළේය. වඩ්ඪමාන පුරයට ආසන්නයේ පිහිටි මහානාම වනෝද්‍යානයටද වැඩමවාගෙන ගියේය.
සංඝයා වහන්සේ සහිත වූ කෝණාගමන බුදුරජාණන් වහන්සේට වැඩහිඳීමට කැපසරුප් ආකාරයෙන් උතුම් ආසනයන් පිළියෙල කරවා රුවන්මැලි මහාසෑය පිහිටන උස් භූමිය උන්වහන්සේට බාධා රහිතව සුවසේ වැඩ සිටිය හැකි රමණීය තැනක් වේවායි සිතා කරවන ලද රම්‍ය වූ මණ්ඩපයේ උතුම් ආසනවල සංඝයා සහිත වූ කෝණාගමන බුදුරජාණන් වහන්සේ සමිද්ධි රජුන් වැඩ හිඳෙව්වේය.
සංඝයා සහිත වූ බුදුරජාණන් වහන්සේ වැඩ හිඳින ආකාරය දකින ලද වරදීපවාසී මනුෂ්‍යයෝ සතර අතින් ම තෑගි භෝග තුටු පඬුරු පිරිකර රැගෙන ආවේය. රජුන් තමන් වෙනුවෙන් පිළියෙල කළාවූත්, මිනිසුන් විසින් ගෙනෙන ලද ප්‍රණීත ඛාද්‍ය භෝජනයන්ගෙන් සංඝයා සහිත වූ බුදුරජාණන් වහන්සේට දානය පිළිගැන්වීය. මේ ස්ථානයේම දානයෙන් පසුවත් වැඩහුන් කෝණාගමන භාග්‍යවතුන් වහන්සේට සමිද්ධි රජ්ජුරුවෝ මහානාමක ගම් ඇති උද්‍යානය උතුම් දානයක් වශයෙන් පූජා කළේය. ඒ අවස්ථාවේ මහානාම වනය අකාලයේ පිපී ගිය මලින් අලංකාර වුණි. කෝණාගමන භාග්‍යවතුන් වහන්සේ එය පිළිගනිද්දී මහපොළොව කම්පා වුණි.
එතැනම වැඩහුන් ලෝකනාථයන් වහන්සේ ධර්ම දේශනා කොට වදාළේය. ඒ දෙසුම අවසානයේ තිස්දහසක් මනුෂ්‍යයෝ මාර්ගඵලාවබෝධයට පත්වුණි.

කණකදත්තා භික්ෂුණිය දිඹුල් බෝධීන් වහන්සේ වැඩමවීම

මහානාම වනයේ දිවා විහරණය කළ කෝණාගමන භාග්‍යවතුන් වහන්සේ සවස් යාමයේදී පෙර කකුසඳ බුදුරජාණන් වහන්සේගේ බෝධිය පිහිටි භූමිය වෙත වැඩම කළ සේක. එතැන වැඩහුන් සම්බුදුරජාණන් වහන්සේ සමාධියට සමවැදුන සේක. සමාධියෙන් නැඟී සිටි භාග්‍යවතුන් වහන්සේ වරදීපවාසීන්ට හිත පිණිස වූ කාරණාවක් සිතා වදාළ සේක. “මාගේ බෝධිය වන දිඹුල් බෝධි වෘක්ෂයෙන් දකුණු ශාඛාවක් රැගෙන කණකදත්තා භික්ෂුණිය භික්ෂුණීන් වහන්සේත් සමඟ මෙහි පැමිණෙත්වා!” යන කරුණයි. එසැනින් ම කණකදත්තා රහතන් මෙහෙණින් වහන්සේ දඹදිව ශෝභවතී නුවර ශෝභන නමති රජ්ජුරුවන්ට මෙකරුණ සැළ කළේය. ඉන්පසු ශෝභන රජුන් සමඟ දිඹුල් බෝධින් වහන්සේ ළඟට වැඩම කළේය. මහා සෘද්ධිමත් වූ කණකදත්තා රහත් මෙහෙණින් වහන්සේ ශෝභන රජ්ජුරුවන් ලවා රත් සිරියල් වලින් දිඹුල් බෝධින් වහන්සේ ගේ දකුණු ශාඛාවට රේඛාවක් ඇන්දෙව්වේය. එවිට ඒ දකුණු දිඹුල් මහබෝ ශාඛාව බෝධීන් වහන්සේගෙන් වෙන්වී ගොස් රන් කටාරමේ පිහිටියේ ය.
මහරජතුමනි, පන්සියයක් රහත් මෙහෙණින් වහන්සේ පිරිවරාගත් කණකදත්තා භික්ෂුණිය දිඹුල් මහ බෝ ශාඛාවත් රැගෙන සෘද්ධියෙන් මෙහි වැඩමවා දේවතාවුන් වහන්සේ පිරිවරාගෙන කෝණාගමන සම්බුදුරජාණන් වහන්සේ දිගු කොට වදාළ දකුණු ශ්‍රී හස්තය මත බෝධි ශාඛාව සහිත ඒ රන් කටාරම් තැබුවේය. එය ලබාගත් තථාගතයන් වහන්සේ බෝධින් වහන්සේ පිහිටුවනු පිණිස සමිද්ධි රජුන්ට ලබා දුන්නේය. සමිද්ධි රජුන් මහානාම උයනෙහි බෝධින් වහන්සේ රෝපණය කළේය. ඒ බෝධි රෝපණයෙන් පසු කෝණාගමන තථාගත සම්බුදුරජාණන් වහන්සේ මෙයින් උතුරු දෙස පිහිටි රම්‍ය වූ සිරි මාලකය අතර පිහිටි නාගමාලකයට වැඩම කොට එහි වැඩ හිඳ දම් දෙසුවේය.ඒ ධර්ම දේශනාව අසා එහි සිටි විසි දහසක් සත්ත්වයන්හට ධර්මාවබෝධය ඇතිවුණි.

කෝණාගමන මුනිඳුන් නැවත වැඩම කිරීම

පෙර කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වැඩහුන්, නගරයට උතුරු දෙසින් ථූපාරාමය පිහිටවන තැන වැඩහිඳ සමාධියට සමවැදුණි. සමාධියෙන් නැඟිට එතැන රැස්ව සිටි පිරිසට කෝණාගමන සම්බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කොට වදාළේය. ඒ අවස්ථාවේදී දස දහසක් සත්ත්වයන් මාර්ගඵලාවබෝධයට පත්වුණි. මිනිසුන්ට වන්දනාමාන කිරීම පිණිස තමන් වහන්සේ පරිහරණය කළ බඳ පටිය දී වදාළ කෝණාගමන භාග්‍යවතුන් වහන්සේ පිරිවර සහිත වූ කණකදත්තා භික්ෂුණිය මේ වරදපයෙහි වඩ්ඪමාන පුරයෙහි වැඩ වාසය කරන්නට අනුදැන වදාළ සේක. තම ශ්‍රාවක මහාසුම්ම රහතන් වහන්සේ ද දහසක් රහතන් වහන්සේ සමඟ මෙහි වැඩ වාසය කරන්නට සලස්වා සම්බුදු රජාණන් වහන්සේ රතන මාලකයෙන් මෙපිට පිහිටි සුදර්ශන මාලකයෙහි වැඩහිඳ ජනයාගේ යහපත පිණිස උතුම් අනුශාසනා කොට සංඝයා වහන්සේ සමඟ අහසට පැන නැඟී දඹදිවට වැඩි සේක.
කාශ්‍යප බුදුරජාණන් වහන්සේ මේ ලක්දිවට වැඩි විස්තරයත් නිග්‍රෝධ බෝධීන් වහන්සේ සුධර්මා භික්ෂුණීන් වැඩම වූ විස්තරයන් අප ඊළඟ ලිපියෙන් කථා කරන්නෙමු.

සුධර්මා රහත් තෙරණිය ලක්දිවට වැඩම වූ නුග බෝධින් වහන්සේ


''මේ මහා භද්‍ර කල්පයේ තෙවනුව පහළ වූයේ ගෝත්‍රයෙන් කාශ්‍යප නම් වූ බුදුරජාණන් වහන්සේ ය.සකල ලෝක සත්ත්වයාට අනුකම්පා ඇති සියල්ල මැනවින් දත් උන්වහන්සේ දෙව් මිනිසුන්ගේ ශාස්තෘන් වහන්සේ වූ සේක. ඒ කාලයේ මහමෙවුනා උයන හැඳින්වූයේ “මහාසාගර උද්‍යානය” ලෙසය. ඒ උයනේ බටහිර දිසාවටදෙසට “විශාලා” නමින් නගරයක් විය. ඒ කාලයේ රජ කළ රජු හැඳින්වූයේ ජයන්ත. යන නමිනුයි. මේ ලංකාද්වීපය ඒ කාලයේ “මණ්ඩලදීප” නමින් හැඳින්වීය.
ඒ යුගයේ ජයන්ත රජුන් සහ රජුගේ සොහොයුරා අතර සත්ත්වයන්ට හිංසාව ඇතිවන මහත් භයානක යුද්ධයක් ඇතිවී තිබුණි.මහා කාරුණික වූ ඒ කාශ්‍යප නම් වූ දසබලධාරී මුනීන්ද්‍රයන් වහන්සේ ඒ යුද්ධය නිසා ප්‍රාණීන්ට සිදුවූ මහත් වූ විපත්තිය දැක වදාළේය. ඒ යුද්ධය සංසිඳවා මනුෂ්‍යයන් හට විනයත්, කාශ්‍යප බුදු සසුනෙහි පැවැත්මත් පිණිස මේ ද්වීපය කෙරෙහි උපන් කරුණා බල නිසාවෙන් විසි දහසක් රහතන් වහන්සේ පිරිවරින් යුක්ත කොට සභකූට නමැති පර්වතය මතට සෘද්ධි බලයෙන් අහසින් වැඩි සේක.


මහා සෘද්ධිමත් වූ සුධර්මා රහත් මෙහෙණින් වහන්සේ කිකී රජුන් ලවා සිරියල් නුග බෝධීන් වහන්සේගේ දකුණු ශාඛාවට රේඛාවක් ඇන්ඳවීය. එවිට ඒ දකුණු නුග මහබෝ ශාඛාව බෝධීන් වහන්සේගෙන් වෙන්වී ගොස් රන් කටාරමේ පිහිටියේ ය

නරේශ්වරයෙනි, ඒ කාශ්‍යප මුනීශ්වරයන් වහන්සේ මණ්ඩදීපවාසි සියලු මිනිසුන් අද මාව හොඳින් දකිත්වා යි එහි සිට අධිෂ්ඨාන කොට වදාළ සේක. ඒ වගේ ම මා වෙතට එන්නට කැමැති සියලු මනුෂ්‍යයන් ඉතා සුවසේ ඉක්මනින් ම පැමිණෙත්වා” යි කාශ්‍යප මහා මුනීන්ද්‍රයන් වහන්සේ අධිෂ්ඨාන කළ සේක. බුද්ධ රශ්මි මාලාවෙන් බබළන කාශ්‍යප බුදුරජාණන් වහන්සේත්, ඒ බුදු රැසින් දිලිසෙන සුභකූ පර්වතයත් දුටු ජයන්ත රජුත් නුවර වැසියෝත් වහාම එතැනට පැමිණියේ ය.
යුද්ධයේදී තම තමන්ගේ පක්ෂයට ජය ලබා ගැනීම පිණිස දෙවියන්ට භාරහාර වෙන්නට සුභකූට පර්වතයට බොහෝ ජනයා පැමිණ සිටියේය. ශ්‍රාවක සංඝයා වහන්සේ සහිත ලෝකනාථයන් වහන්සේ දුටු ඔවුන් සිතුවේ දේවතාවුන් වහන්සේ ඇස් පනාපිට ම වැඩම කොට සිටින බවකි. යුද්ධයට පැමිණ සිටි රජුන් සහ ඒ කුමාරයා මහත් විස්මයට පත්වී යුද්ධය අත්හැරියේ ය. ජයන්ත රජුන් අතිශයින් ම සතුටට පත්ව කාශ්‍යප බුදුරජාණන් වහන්සේට ගෞරවාදරයෙන් වන්දනා කොට දානය පිණිස ආරාධනා කර සිටියේ ය. විසාලා පුරයට ආසන්නයේ පිහිටි “මහාසාගර” වනෝද්‍යානයට වැඩමවාගෙන ගොස් සංඝයා වහන්සේ සහිත වූ කාශ්‍යප බුදුරජාණන් වහන්සේට වැඩහිඳීමට කැපසරුප් ආකාරයෙන් උතුම් ආසනයන් පිළිවෙල කරවීය.
රුවන්මැලි මහාසෑය පිහිටන උස් භූමිය උන්වහන්සේට බාධා රහිතව සුවසේ වැඩ හිඳින්නට පුළුවන් රමණීය ස්ථානයක් බව සිතා කරවන ලද රම්‍ය වූ මණ්ඩපයේ උතුම් ආසනවල සංඝයා සහිත වූ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ජයන්ත රජතුමා මෙතැන වඩා හිඳෙව්වේය. සංඝයා සහිත වූ බුදුරජාණන් වහන්සේ වැඩ හිඳින ආකාරය දකින ලද මණ්ඩපදීවාසී මනුෂ්‍යයෝ සතර අතින් ම තෑගි භෝග තුටු පඬුරු පිරිකර රැගෙන ආවේය. රජතුමා තමන් වෙනුවෙන් පිළියෙල කළාවූත්, මිනිසුන් විසින් ගෙනාවාවූත් ප්‍රණීත ඛාද්‍යභෝජ්‍යයන් ගෙන සංඝයා සහිත වූ බුදුරජාණන් වහන්සේට දානය පිළිගැන්වීය.
එම ස්ථානයේදීම දානයෙන් පසුවත් වැඩහුන් කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේට ජයන්ත රජතුමා මහාසාගර උද්‍යානය උතුම් දානයක් වශයෙන් පූජා කළේය. ඒ අවස්ථාවේ මහාසාගර වනය අකාලයේ පිපී ගිය මලින් අලංකාර වුණි. කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ එය පිළිගනිද්දී මහාපොළොව කම්පා වුණි. එතැනම වැඩහුන් ලෝකනාථයන් වහන්සේ ධර්ම දේශනා කොට වදාළේය. ඒ දෙසුම අවසානයේ විසිදහසක් මනුෂ්‍යයෝ මාර්ගඵලාවබෝධයට පත්වුණි.

සුධර්මා භික්ෂුණිය නුග බෝධිය වැඩම වීම

මහාසාගර වනයේ දිවා විහරණය කළ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ සවස යාමයේදී කලින් බුදුරජාණන් වහන්සේගේ බෝධීන් වහන්සේ පිහිටි ස්ථානයට වැඩම කළේය. එතැන වැඩහුන් සම්බුදුරජාණන් වහන්සේ සමාධියට සමවැදුන සේක. සමාධියෙන් නැඟී සිටි භාග්‍යවතුන් වහන්සේ මණ්ඩදීපවාසීන්ට හිත පිණිස වූ කාරණාවක් සිතා වදාළ සේක. එනම් මාගේ බෝධිය වන නුගබෝධි වෘක්ෂයෙන් දකුණු ශාඛාවක් රැගෙන සුධර්මා භික්ෂුණිය භික්ෂුණීන් වහන්සේත් සමඟ මෙහි පැමිණෙත්වා යි යන කාරණාවයි. එසැණින් ම සුධර්මා රහත් මෙහෙණින් වහන්සේ දඹදිව බරණැස් නුවර කිකී නමැති රජුට මෙම කරුණ දන්වා වදාළේය. කිකී රජුන් සමඟ නුග බෝධීන් වහන්සේ අසළට වැඩම කළේය. මහා සෘද්ධිමත් වූ සුධර්මා රහත් මෙහෙණින් වහන්සේ කිකී රජුන් ලවා සිරියල් නුග බෝධීන් වහන්සේගේ දකුණු ශාඛාවට රේඛාවක් ඇන්ඳවීය. එවිට ඒ දකුණු නුග මහබෝ ශාඛාව බෝධීන් වහන්සේගෙන් වෙන්වී ගොස් රන් කටාරමේ පිහිටියේ ය.
මහරජතුමනි, පන්සියයක් රහත් මෙහෙණින් වහන්සේ පිරිවරාගත් සුධර්මා භික්ෂුණිය නුග මහබෝ ශාඛාවත් රැගෙන සෘද්ධියෙන් මෙහි වැඩමවා දේවතාවුන් වහන්සේ පිරිවරාගෙන කාශ්‍යප සම්බුදුරජාණන් වහන්සේ දිගු කොට වදාළ දකුණු ශ්‍රී හස්තය මත බෝධි ශාඛාව සහිත ඒ රන් කටාරම තැබුවේය. එය ගත් තථාගතයන් වහන්සේ බෝධින් වහන්සේ පිහිටුවනු පිණිස ජයන්ත රජුන්ට ලබා දුන්නේය. ජයන්ත රජුන් මහාසාගර උයනෙහි බෝධීන් වහන්සේ රෝපණය කළේ ය. ඒ බෝධි රෝපණයෙන් පසු එතැනින් වැඩම කළ කාශ්‍යප සම්බුදුරජාණන් වහන්සේ නාගමාලකයට උතුරින් පිහිටි අසෝක මාලකයෙහි වැඩ හිඳ එහි රැස් වූ ජනයාට ධර්ම දේශනා කොට වදාළේය. මහරජතුමනි, ඒ ධර්ම දේශනාව අසා එහි සිටි හාරදහසක් සත්ත්වයන් හට ධර්මාවබෝධය ඇතිවුණි.

කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දඹදිවට වැඩම කිරීම

පෙර බුදුවරයන් වහන්සේ වැඩහුන් නගරයට උතුරු දෙසින් ථූපාරාමය පිහිටන තැන වැඩ හිඳ සමාධියට සමවැදුනේය. සමාධියෙන් නැඟිට එතැන රැස්ව සිටි පිරිසට කාශ්‍යප සම්බුදු රජාණන් වහන්සේ ධර්ම දේශනා කොට වදාළේය. ඒ අවස්ථාවේදී දස මසක් සත්ත්වයන් මාර්ගඵලාවබෝධයට පත්වුණි. මිනිසුන්ට වන්දනාමාන කිරීම පිණිස තමන් වහන්සේ පරිහරණය කළ නහනාකඩ ධාතුන් වහන්සේ දී වදාළ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ පිරිවර සහිත වූ සුධර්මා භික්ෂුණිය මේ මණ්ඩදීපයෙහි විසාලා පුරයෙහි වැඩවාසය කරන්නට සැලැස්සුවේය. තම ශ්‍රාවක සබ්බනන්දි රහතන් වහන්සේ ද දහසක් රහතන් වහන්සේ සමඟ නදියෙන් මෙතෙර වැඩ වාසය කරන්නට සලස්වා සම්බුදුරජාණන් වහන්සේ එතැනින් නැඟෙනහිර දෙසින් පිහිටි සුදර්ශන මාලකයෙන් නික්ම සෝමනස්ස මාලකයේ දී ජනයාට ධර්මයෙන් අනුශාසනා කොට කාශ්‍යප මුනිඳුන් වහන්සේ සංඝයා වහන්සේ සමඟ අහසට පැන නැඟී දඹදිවට වැඩි සේක.
මේ ආකාරයට අතීත තොරතුරු වදාළ මිහිඳු මහරහතන් වහන්සේ මෙසේ ද වදාළ සේක. මහරජතුමනි, මේ මහා භද්‍ර කල්පයේ සතරවෙනිව ශ්‍රී සම්බුද්ධත්වයට පත්වී වදාළේ අපගේ ගෞතම භාග්‍යවතුන් වහන්සේය. සියලු ධර්මයන් මනාව අවබෝධ කළ සකල ලෝක සත්ත්වයා කෙරෙහි මහත් දයානුකම්පා ඇති උන්වහන්සේ දෙව් මිනිසුන්ගේ ශාස්තෘන් වහන්සේ වන සේක.
දෙව් මිනිසුන්ට උතුම් වූ ඒ අපගේ භාග්‍යවතුන් වහන්සේ මේ මහාමේඝ වනයේ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ රෝපණය වන භූමියේ පන්සියයක් මහරහතන් වහන්සේ සමඟ සමාපත්ති සුවයෙන් වැඩසිටි සේක.
මේ ආකාරයට මේ මහා භද්‍ර කල්පයේ පහළ වී වදාළ සතර බුදුරජාණන් වහන්සේ ම පරිභෝග කළ, වැඩසිටි ඒ සඳහා විවරණ ලද භූමිකයි ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ සඳහා ඉඩකඩ වෙන්වූයේ. ඒ වගේම සෑම බුද්ධ ශාසනයකම බෝධින් වහන්සේ වැඩම කරවීම භික්ෂුණියන් අතින් සිදුවුණි. රජවරු විසින් අතිශයින් ගෞරවයෙන් බෝධින් වහන්සේ රෝපණය කළේය. අපේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ හැරෙන්නට පෙර බුද්ධ ශාසන වලදී බුදුරජුන් ඉදිරිපිට දීමයි බෝධින් වහන්සේ රෝපණය වූයේ. නමුත් අපගේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑවත් බෝධින් වහන්සේගේ උතුම් දක්ෂිණ ශාඛාව ලක්්දිවට වැඩම කිරීමට අවශ්‍ය සියලු අධිෂ්ඨාන සිදුකොට වදාළේය. ඒ අධිෂ්ඨාන ඒ අයුරින්ම සිදුවුණි. අප ඉදිරියේ දී ඒ උතුම් ඇසතු බෝ රජුන්ගේ දක්ෂිණ ශාඛා බෝ රජුන් සංඝමිත්තා රහත් තෙරණිය වැඩම වූ අපූරු විස්තරය ඉගෙන ගනිමු.