අනුරාධපුර මහා විහාරය පෙරදිග ලෝකයේ පැවති ශ්‍රේෂ්ඨ අධ්‍යාපන ආයතනයක් වූ අතර එහි මහා සංඝරත්නය භාෂා ශාස්ත්‍ර පිළිබඳ ප්‍රවීණ විචක්ෂණ බුද්ධියෙන් සම්පූර්ණ වූ බැවින් ථේරවාදී බුද්ධාගම ලංකාවට හඳුන්වාදීමේ දී ප්‍රධාන සිද්ධීන් හෙළ බසින් වාර්තා කොට ඒවා විශේෂ ග්‍රන්ථ වශයෙන් මහා විහාර පුස්තකාලයේ තැන්පත් කොට පැවතුනි. හෙලුබෝවස, පසුකාලීනව පාලි භාෂාව ජාත්‍යන්තරව දියුණු වූ බැවින් පාලි භාෂාවට පරිවර්තනය කිරීමෙන් පාලි බෝධි වංශය නිර්මාණය විය.

ජීවමාන සම්බුදු පියාණන් බඳු ශ්‍රී මහා බෝධීන් වහන්සේ

අනුරාධපුර ලංකාරාමාධිකාරී
උතුරු මධ්‍යම දිසාවේ 
ප්‍රධාන අධිකරණ සංඝ නායක
රැළපනාවේ ධම්මජෝති නා හිමි

වසර 2500කට වැඩි කලක් එක දිගට සජීවිව වැඩ වෙසෙන ශ්‍රී මහා බෝධීන් වහන්සේ තවත් එක් ආශ්චර්යයකි. එය ලෝකයේ පුදුම වස්තූන් අතර සම්භාවනීය, උත්තරීතර වස්තුව විය හැකිය. ඒ අනභිභවනීය උත්තම වස්තුව ශ්‍රී ලංකාවේ වැඩවිසීම මුළු මහත් ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවට පමණක් නොව මුළු රටටම ආශිර්වාදයකි. ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්ම සඳහා පෙරමුණේ වැඩ වෙසෙන ශ්‍රී මහා බෝධීන් වහන්සේ වූ කලී සම්බුදු පියාණන්ගේ ස්පර්ශය ලද අදටත් ජීවමානව වැඩ වෙසෙන සංකේතය වන්නේ ය.
සම්බුද්ධත්වයට පෙරුම් පුරමින් සිටි සිදුහත් බෝසතාණන් වහන්සේට ගෞතම සම්බුද්ධත්වය ලබා ගැනීමට පිටුබලයක් වූයේ ඇසතු වෘක්ෂයයි. සම්බුද්ධත්වය ලබා ගැනීමට පිටිවහලක් වූ නිසාම ඇසතු වෘක්ෂයට ‘බෝධිය’ ලෙස නම් තබා ඇත.

දඹදිව ධර්මාශෝක, සිරිලක දේවානම් පියතිස්ස යන රජවරුන්ගේ හිත මිතුරුකමේ සජීවි සංකේතයක් ලෙස දඹදිව වැඩ විසූ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව සම්බුද්ධ වර්ෂ 236 වැන්නේ දී ශ්‍රී ලංකාවට පිරිනමා ඇත. මිහිඳු මහරහතන් වහන්සේගෙන් ශ්‍රී සම්බුද්ධ ශාසනයත් සංඝමිත්තා මෙහෙණිය මගින් ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාවත් ලංකාවට ලැබීම නිසා ශ්‍රී ලංකාව සම්බුද්ධ රාජ්‍යයක් බවට පත්විය. මේ පිළිබඳව සවිස්තර තොරතුරු ‘සමන්තපාසාදිකාවේ’ විවරණය කර තිබේ.
සම්බුද්ධ ශාසනය මේ රටේ පැතිරීමත් සමඟ අනුලා දේවියට පැවිදි වීමට අවශ්‍ය වී ඒ බව මිහිඳු මා හිමියන්ට දැන් වූ විට මිහිඳු මා හිමියන් රජුට අනුශාසනා කළ බව සිංහල බෝධි වංශයේ දක්වා ඇත.
මේ අන්දමට මිහිඳු මාහිමිපාණන්ගේ අනුශාසනාවට අනුගත වූ දෙවන පෑතිස් රජතුමාගේ නියමය පරිදි අරිට්ඨ කුමරුගේ නායකත්වයෙන් වප් මස පුර දියවක දවසේ දඹුලු තොටුපලින් දඹදිව බලා පිටත්ව ගොස් ධර්මාශෝක රජු බැහැ දැක දෙවන පෑතිස් රජුගේ පයිංඩය පිළිගැන්වූ බව මහා වංශයේ 7 – 8 - 18 ගාථාවලින් පැහැදිලි කර තිබේ. ධර්මාශෝක රජුට පිළිගැන්වූ පයිංඩය එපරිද්දෙන් ම සංඝමිත්තා මෙහෙණියට ද පිළිගන්වා එතුමිය මෙරටට වැඩම කරවීමට එකඟ කරවාගෙන ඇත.
සිය හිතමිතුරු දේවානම් පියතිස්ස රජුගේ ඉල්ලීම ඉටුකර දීමට හිතට ගත් ධර්මාශෝක රජු ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව වෙන්කර ගන්නේ කෙසේදැයි සංඝරත්නය විමසූ විට මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේ රජුට අනුශාසනා කරමින් බුදුපියාණන් වහන්සේගේ පංච මහා අධිෂ්ඨාණ බලයෙන් මව් ගසින් දක්ෂිණ ශාඛාව වෙන්කර ගත හැකි බව පෙන්වා දී තිබේ.
මේ සංසිද්ධිය සමන්ත පාසාදිකාවේ විස්තර වන අන්දමට ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව වෙන්කර ගැනීමේ ක්‍රමෝපාය හිතටගත් ධර්මාශෝක රජු එම දක්ෂිණ ශාඛාව පාඨලී පුත්‍ර නගරයට වැඩමවීම සඳහා එහි සිට ශ්‍රී මහා බෝධිය දක්වා සත් යොදුනක් දුර මඟ දෙපස සරසවා ඇත. සක් දෙවිඳුගේ අණසකින් රන්කරුවෙකුගේ වෙස්ගෙන දඹදිව පැමිණි විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා ශ්‍රී මහා බෝධි ශාඛාව තැන්පත් කිරීමට දැවැන්ත කටාහයක් (කල්දේරමක්) රනින් නිමවා ඇත. මෙම අවස්ථාව විස්තර කරන මහාවංශය කටාහයේ බඳේ වට රවුම රියන් නමයක් බව ද උස රියන් පහක් බව ද පළල රියන් තුනක් බව ද රන් තහඩුවේ ඝනත්වය අඟල් අටක් බව ද කටාහයේ කට ඇත් නාම්බෙකුගේ සොඬ තරම් බව ද සඳහන් කර ඇත.
මෙම ආශ්චර්යවත් අවස්ථාව විවරණය කරන බෝධි වංශය ශ්‍රද්ධාවෙන් පිරිපුන්ව සිටි ධර්මාශෝක රජු අධිෂ්ඨාන පූර්වකව බෝ සමිඳුන් දෙස කරුණාබරිතව ආයාචනාත්මකව දෑස් හෙලූ බවත් ඒ මොහොතේ ම ශ්‍රී මහා බෝධින් වහන්සේගේ කඳ හා දක්ෂිණ ශාඛාවේ සිව් රියනක් තැන් හැර සෙසු තැන් හිටි හැටියේ අතුරුදන් වූ බව සඳහන් කරයි. මේ උතුම් සංසිද්ධිය විවරණය කරන මහා වංශය ‘ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව තෙමේම සිඳී රන් කටායෙහි තැන්පත් වේවායි” ධර්මාශෝක රජු විසින් ප්‍රාර්ථනා කොට දක්ෂිණ ශාඛාව මත රේඛාවක් ඇඳීමෙන් පසු තෙමේම සිඳී ස්වර්ණ කටාහයට වැඩම කළ බව සඳහන් කරයි. මේ ආශ්චර්යයෙන් හා අපූර්වත්වයෙන් පිරී ගිය මොහොතේ අනේක විධ ප්‍රාතිහාර්යයන් සිදුවෙද්දී ධර්මාශෝක රජු මුළුමහත් දඹදිව රාජ්‍යයම ශ්‍රී මහා බෝ සමිඳුන්ට පූජා කළ බව එහි වැඩිදුරටත් දැක්වේ.
මෙම ආශ්චර්යවත් සංසිද්ධියෙන් පසුව ශ්‍රී මහා බෝ සමිඳුන්ගෙන් රන් කටාහයට වැඩම කළ දක්ෂිණ ශාඛාව හිසමත තබාගත් රජතුමා සත් යොදුනක් දුර ගෙවා මූදු තෙරට පැමිණ එතැන් පටන් කරවටක් ගිලෙනතුරු මුහුද තරණය කොට ඒ වෙනුවෙන් ම සරසා සූදානම් කර තිබූ නැවේ විශේෂිත රන් මණ්ඩපය මත වඩා හිඳුවා සංඝමිත්තා මෙහෙණියට එහි භාරය පවරා දුන් බව විස්තර කර ඇත.
ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව රැගත් නෞකාව මුහුද තරණය කොට ශ්‍රී ලංකාවට බාරදීමේ භාරදූර වගකීම ධර්මාශෝක රජතුමා විසින් බෝධිගුප්ත හා සුමිත්ත යන කුමාරවරුන් දෙදෙනාට පවරා ඇති අතර ඊට අමතරව මේ පින්බර ගමනට රාජකුල අටක හා බමුණුකුල අටක නියෝජිතයන් ද තවත් දහඅට කුලයක පරිවාර පිරිවර ද එකතු කර ඇත.
ඉන්දියාවේ ‘තාම්බ්‍රලිප්ත’ තොටුපලෙන් පිටත් වූ මේ නැව ලංකාවේ දඹකොළ පටුන තොටුපලට සේන්දු වූ පසු දේවානම්පියතිස්ස රජතුමන් ප්‍රමුඛ රාජකීය පිරිස විසින් ගෞරව බහුමානයෙන් පිළිගනු ලැබ ඒ සඳහා ම සූදානම් කර තිබූ සමුද්‍රාසන ශාලාවේ ඉදිකර තිබූ මණ්ඩපය තුළ වඩා හිඳුවා ඇත. මෙදින රාත්‍රිය දක්ෂිණ බෝධි ශාඛාව සහිත පිරිස සමුද්‍රාසන ශාලාවේ ගත කරන ලද අතර රාත්‍රිය මුළුල්ලේ ම දොරටු පාලකයෙකු සේ වෙස්වලාගෙන රැකවල් ලා සිටියේ දෙවන පෑතිස් රජතුමා බව මහා වංශයේ දැක්වේ. මහා වංශයේ 20 වෙනි පරිච්ඡේදයේ මේ සංසිද්ධිය විස්තර කරන මහාවංශ කතුවර මහානාම හිමියෝ පසුකලෙක ශ්‍රී මහා බෝධියෙන් මතු වූ අංකුර අටෙන් එකක් මෙම ගොඩබට ස්ථානයේ රෝපණය කොට ‘දඹකොළ වෙහෙර’ නමින් විහාරස්ථානයක් ද දේවානම්පියතිස්ස රජතුමන් විසින් පිහිටුවන ලද බව සඳහන් කරති.
ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව සංඝමිත්තා මෙහෙණිය, දඹදිවෙන් පැමිණි ආරක්ෂක හා දූත පිරිස පෙරටු කරගෙන පසුදින අනුරාධපුරය බලා ඒමට ගමන් ඇරඹූ දේවානම්පිතිස්ස රජතුමා සහ රාජකීය පිරිස ගමන් මගේ අතරමග තිවංක නම් වූ බමුණු ගමේ හෙවත් තන්තිරිමලේ ගිමන් හැරීමට රැඳී ඇත. දඹකොළ පටුනේ මෙන් මේ ස්ථානයේ ද පසුකලෙක අෂ්ට ඵල බෝධි අංකුරයක් රෝපණය කර තිබේ.
තිවංක බමුණු ගමේ සිට නැවත අනුරාධපුරය බලා ගමන් ආරම්භ කළ මේ පිරිස උතුරු දොරටුවෙන් මහමෙව්නා උයනට පිවිස ඇති අතර සෙසු අය දකුණු දොරටුවෙන් මහමෙව්නා උයනට ඇතුළු වී ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත නමස්කාර කරමින් සාදු හඬින් එක දිගට පරිසරය පිරවූ බව වංශ කතාවල දැක්වේ.
මහා වංශයේ 15 පරිච්ඡේදයේ 32, 33, 78, 154 ගාථාවලින් සහ සිංහල බෝධි වංශයේ 326 හා 327 පිටුවල විස්තර කර ඇති අන්දමට ශ්‍රී මහා බෝධීන් වහන්සේ රෝපණය කිරීම සඳහා සුදුසුතම ස්ථානය වශයෙන් රජ මැදුරේ දකුණ පස භූමිභාගය තෝරා ගන්නා ලද බව කියවේ. මේ භූමි භාගය තෝරා ගැනීමට හේතු පාදක වී ඇත්තේ මීට පෙර සිව් මහා බුදුවරයන් වහන්සේලා මෙම ස්ථානයේ සමවතෙන් සමවැදී සිටි මහා පුණ්‍ය භූමිභාගයක් ලෙස මිහිඳු මාහිමියන් විසින් තොරතුරු අනාවරණය කිරීම නිසා බව මහා වංශයේ දැක්වේ.
ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව මහමෙව්නා උයනේ වඩා හිඳුවා ඇත්තේ බුද්ධ වර්ෂ 236 වැන්නෙහි උඳුවප් මස පුර තුදුස්වකදා සන්ධ්‍යා භාගයේ ‘රෙහෙණ’ නැකත යෙදී තිබූ මොහොතේදීය.
මේ උතුම් ඓතිහාසික අවස්ථාව විවරණය කරන මහා වංශය සත් දිනක් පුරාවට බෝ සමිඳුන් අදෘශ්‍යමානව සවණක් රැස් පමණක් විහිදුවද්දී පොළව කම්පා වී මහා වර්ෂාවක් ඇති වූ බව සඳහන් කරයි.
උතුම් අෂ්ට බෝධි අංකුර පහළ වූ අයුරු විස්තර කරන බෝධි වංශය ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාවෙන් හැලුන ඵල පහෙන් එකක් මිහිඳු මහ රහතන් වහන්සේගේ සුරතට වැටී ඇති අතර එයින් බෝධි අංකුර අටක් මතු වූ බව සඳහන් කරයි. මේ බෝධි අංකුර අට දඹකොළ පටුන, තිවංක බමුණුගම, ථූපාරාමය, කසුන්ගිරි වෙහෙර, පඨමක චෛත්‍ය භූමිය, සෑගිරිය භූමිය, කතරගම, රෝහණ ජනපදයේ සඳුන්ගම යන ස්ථානවල රෝපණය කරන ලද බව වැඩිදුරටත් සඳහන් වේ.
බෝධීන් වහන්සේ වෙතින් වැටුණ සෙසු ඵල හතරින් එකකින් අට බැගින් තවත් අංකුර 32ක් මතු වී ඇති අතර ඒවා ‘දෙතිස් ඵල රුහබෝධි’ නමින් හඳුන්වා ඇත.
කාලයේ ඇවෑමෙන් මැකීගොස් ඇතත් ශ්‍රී මහා බෝධි ශාඛාව සමඟ ඉන්දියාවෙන් පැමිණි රාජ කුමාරවරුන් අට දෙනාට ද සෙසු පිරිසට ද පැවරුන බෝධිභාර කටයුතු රැසක් පවතී. ඒවා කෙටියෙන් පහත දක්වමි.
රාජ කුමාරවරු 8 දෙනාට පැවරුණ බෝධි වගවීම්
බෝධිගුප්ත - ශ්‍රී මහා බෝධියේ ආරක්ෂාව හා පෙරහර කරවීමේ මහ ලේකම්
සුමිත්ත - බෝ සමිඳුට පෙරහර කරවන මහ ලේකම්, දේව ගුප්ත – රන් කෙන්ඩියෙන් පිරිත් පැන් ඉසීම
චන්ද්‍රර ගුප්ත - පෙරහරේ රන් බෙර වාදනය, ධර්ම ගුප්ත - පෙරහරට සක් පිඹීම, සූරිය ගුප්ත – රන් කෙන්ඩියෙන් පිරිත් පැන් ඉසීම
ගෝතම - සුදු කොඩි එසවීම
ප්‍රතින්දර-පෙරහරේ රැකවරණය, මේ රාජ කුමාරවරු 08 දෙනාට අමතරව තවත් කුල 18 ක පිරිස් ශ්‍රී මහා බෝ සමිඳුන් සමඟ ලංකාවට පැමිණ ඇත. එම එක් එක් කුලයට පැවරුණ බෝධිකාරි සහ නිලලද්දන්ගේ තනතුරු නාම ද දැක්වේ.